කෘෂිකර්ම ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටි හෙක්ටර් කොබ්බෑකඩුව

 



සත්ත්ව වර්ගයාගේ යහපැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධක අතරින් ආහාරවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මිනිසත් බව ලද අපද කෘෂිකර්මය මත පදනම් වූ ජීවන රටාවකට හුරු වූයේ මීට අවුරුදු දහස් ගණනකට පෙර සිටය. ලොව අනෙකුත් ශිෂ්ඨාචාර කුමක් හෝ ගංගාවක නැතහොත් ජල ධාරාවක් පදනම් කොටගෙන ආරම්භ වුව ද අපේ සංස්කෘතියට බොහෝ විට පාදම වී ඇත්තේ අහස් දිය හෙවත් වැස්සෙන් ලැබෙන ජලය අවුරුද්ද පුරාවට මනා සේ කළමනාකරණය කර ගැනීම පිණිස ගොඩනැගූ මහා වැව් සහ ඒ ආශ්‍රිතව ඉදි කරන ලද වාරි මාර්ග ක්‍රමවේදයන් වේ. එදා පෙර රජ දවස සිට පැවත ආ අපගේ කෘෂිකර්මය හා ඒ ආශ්‍රිත ක්‍රියාවලියේ දී වස විසෙන් තොර කෘෂිකාර්මික ප්‍රතිපත්තිය හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සොයා බැලීමේදී කතා බහට ලක්වන නම් අතුරින් හෙක්ටර් කොබ්බෑකඩුව නාමයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

වර්ෂ 1916 අගෝස්තු මස 27 වැනි දින මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර දෙල්දෙනිය වලව්වේ උපත ලද හෙක්ටර් සෙනරත් රාජකරුණා බණ්ඩාර කොබ්බෑකඩුව මැතිතුමාගේ ආදරණීය දෙමව්පියන් වන්නේ ටිකිරි බණ්ඩාර කොබ්බෑකඩුව සහ සංඝමිත්තා දුල්ලෑව කුමාරිහාමි යන දම්පතීන් යුවලයි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ එතුමන් ඉන් අනතුරුව කොළඹ නීති විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා නීතිඥයෙකු ලෙස තම වෘත්තිය දිවිය ආරම්භ කෙළේය. කෙසේ වෙතත් තම සේවා දායකයන්ගෙන් ඉතා සාධාරණ මුදලක් අය කළ මෙතුමා අහිංසක ගොවි ජනතාවගේ නීති කටයුතු නොමිලේ විශේෂ උනන්දුවකින් කර දුන්නේ තව තවත් ඔවුන්ගේ හදවත්වලට ළං වෙමිනි. බොහෝ කාර්යය බහුල දිවි පෙවෙතක් ගත කළ එතුමන් ඔහුගේ වටිනා කාලයෙන් බිදක් තමන් සිප්සතර හැදෑරූ විදුහල කෙරෙහි ද කැප කිරීමට අමතක නොකළේ කළගුණ සැලකීමේ උත්තම ගුණය මනාවට පිළිබිඹු කරමිනි. මහනුවර ත්‍රිත්ව විදුහල අප කොබ්බෑකඩුව පවුලට අපගේම නිවෙස්නයක් බඳු බැඳීමක් ඇති ස්ථානයක් වූ අතර අප විදුහල් මෑණියන්ගේ සියවැනි උපන් දිනය සමරන මොහොතේ දී එහි ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතීත්වය හෙක්ටර් කොබ්බෑකඩුව මහතා හෙබවූ අතර 150 වැනි සංවත්සරය සැමරීමට නියමිත අවස්ථාවේදී ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතීත්වය සඳහා මා තෝරා පත්කර ගනු ලැබීම සැබවින්ම දෛවෝපගත සිදුවීමකි.

නීතිඥ වෘත්තියෙන් තම මාතෘ භූමියට සහෝදර ජනතාවටත් කළ හැකි සේවයට වඩා වැඩි සේවයක් කිරීමේ උදාරතර අරමුණ පෙරදැරිව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි එතුමන් 1952 දී ස්වාධීන අපේක්ෂකයකු ලෙස මහනුවර නගර සභා ඡන්දයට ඉදිරිපත් වී ඉතා තියුණු තරගයකින් පසු අම්පිටිය අසුන ජයග්‍රහණය කෙළේය. තම පෞද්ගලික වාසි වෙනුවෙන් බලය අයුතු ලෙස භාවිතා නොකළ මෙතුමන් දිනෙන් දින ජනතා හදවත්වලට ළං වෙමින් ජනප්‍රියත්වයට පත් විය. 1956 දී පැවති මහ මැතිවරණයෙන් මහනුවර අසුනට තරඟ කරන ලෙස එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම අවස්ථාව එවකට හේවාහැට ප්‍රදේශයේ ආදායම් පාලකයකු ලෙස කටයුතු කළ පියසේන තෙන්නකෝන් මහතා හට ප්‍රදානය කළේ එයට වඩාත් සුදුසු පුද්ගලයා ඔහු බව පවසමිනි. එපමණක් නොව තෙන්නකෝන් මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්ද කටයුතු කළ එතුමා එම ක්‍රියාවෙන් පිළිබිඹු කළේ දිනෙන් දින මානුෂීය ගුණාංග ක්ෂය වෙමින් යන වාර්තමාන දේශපාලනඥයන්ට ද කදිම ආදර්ශයක් දෙමිනි. ඉන් අනතුරුව 1960 සහ 1965 දී පැවැති මැතිවරණවලට ඉදිරිපත් වුවද ඉතා සුළු ඡන්ද ප්‍රමාණවලින් පරාජයට පත් වූ මෙතුමා 1961 දී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙසද 1963 වර්ෂයේදී එහි සභාපතිවරයා වශයෙන් ද පත් විය.

1970 මහ මැතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් යටිනුවර ආසනය ජයග්‍රහණය කළ එතුමන් සමගි පෙරමුණ රජයේ කෘෂිකර්ම සහ ඉඩම් ඇමැති ධූරයට පත් විය. එවකට අගමැතිතුමිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියත් සමඟම නව පන්නරයක් ලැබූ කොබ්බෑකඩුව මැතිතුමා සැමටම ආදර්ශයක් වෙමින් තම ඉඩම් පවා ජනතා සන්තක වන පරිදි දැඩි පරිශ්‍රමයක් දරා ඉඩම් ප්‍රතිසංස්කරණ පනත සම්මත කැර ගත්තේය. එහිදී ඉඩම් අක්කර 50ට වැඩි වූ ගොඩ ඉඩම්ද අක්කර 25ට වඩා වැඩි වූ මඩ ඉඩම් ද ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය යටතේ රජයට පවරා ගැනීමට කටයුතු කෙළේය. මෙමඟින් ඉඩම් අක්කර දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රජයට පවරා ගත් අතර ඉන් ඉඩම් අක්කර ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් බිම් අඟලක්වත් නොමැති අහිංසක ජනතාව වෙත බෙදා දී ඔවුන් දිළිඳු භාවයෙන් මුදා ගැනීමට කටයුතු කිරීමත් දේශීය කෘෂි නිෂ්පාදන ඉහළට ඔසවා තැබීමට කටයුතු කිරීමත් කැපී පෙනේ. මෙතුමා කැබිනට් ඇමැති ධුරය දරණ කාල වකවානුව තුළදී නව කෘෂි කාර්මික අණ පනත් සහ නීති රීති සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සමත් වීම ගොවිතැනින් තම දිවිය සවිකර ගන්නා ගොවි ජනතාව ලැබූ මහත් වූ ජයග්‍රහණයකි. ඒ අතර 1972 අංක 01 දරණ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත, 1972 අංක 02 දරණ කෘෂිකර්ම ඵලදාවර්ධන පනත, 1972 අංක 05 දරණ ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ පනත, 1972 අංක 11 දරණ රාජ්‍ය කෘෂිකාර්මික පනත සංස්ථාපිත කිරීමේ පනත, 1972 අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනත, 1972 අංක 09 දරණ වී නිෂ්පාදිතයින්ගේ ඉතිරි කිරීමේ නීතිය. 1973 අංක 15 දරණ ජාතික සාගිනි නිවීමේ මණ්ඩල පනත, 1973 අංක 30 දරණ ලංකා පළතුරු මණ්ඩල පනත, 1973 අංක 42 දරණ කෘෂිකාර්මික ඉඩම් නීතිය., 1976 අංක 25 දරණ ජනාවාස නීතිය දැක්විය හැකිය. මෙම නීති සහ අණ පනත්වලින් නිහඬ කෘෂි ආර්ථික විප්ලවයක් කිරීමට හැකි වූයේ හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාගේ අධිෂ්ඨානයත් නොපසුබට උත්සාහයත් නිසාය.

මෙම නව කෘෂිකාර්මික ප්‍රතිපත්ති මාලාව හමුවේ පවරා ගනු ලැබූ ඉඩම් වලින් ජනතාව අතර බෙදා දීමෙන් පසු ඉතිරි වූ ඉඩම් ප්‍රමාණ උඩරට වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ජනාවාස කොමිෂන් සභාව වැනි ආයතනවලට පවරා දීම මඟින් අපමණ දුක් ගැහැට විඳිමින් තම ජීවනාලිය සරිකර ගත් සුවහසක් ගොවි ජනතාවට සිදු වූ අපරිමිත සේවයත් විදේශවලට ඇදී ගිය මහා ධනස්කන්ධය මෙරට තුළම ඉතිරි කර ගැනීමට ලැබීමත් මුළු මහත් ශ්‍රී ලංකා වාසී ජනතාව ලැබූ භාග්‍යක් කොට සැලකිය හැකිය. මෙහි ප්‍රතිලාභ දකුණේ සිංහල ජනතාවට මෙන්ම උතුරේ සහෝදර දෙමළ ජනතාවටත් සමසේ භුක්ති විඳීමට සැලැස්වීම තුළින් ජනිත වන්නේ එතුමාගේ කාර්ය ශූරත්වයත් අවංක භාවයත් වැඩ කටයුතු කිරීමේ දී ඇති විනිවිද භාවයත්ය. මෙවැනි ඉඩම් පනත් බොහෝ රටවල ක්‍රියාත්මක නොවුණත් ඉන්දියාව, පිලිපීනය, බ්‍රසීලය යන රටවල ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාව තුළ මෙන් නොව බොහෝ ලේ වැගිරීම් සහ ජීවිත හානි සිදු වූ බව ඉතිහාසය දෙස බැලීමේ දී සනාථ වේ. එහෙත් අප රටේ කිසිඳු බිඳකුදු නොසෙල්වා ඉඩම් ජනසතු කිරීමට මෙතුමා මානුෂිය වීම නිහඬ කෘෂි විප්ලවය ලෙස හැඳින්වීමට කදිම නිදසුන වේ.

කෙසේ වෙතත් රටටත් ජාතියටත් මෙබඳු සේවයක් කළ මෙතුමන් හට 1977 දී පැවැති මහ මැතිවරණයේ දී තම මන්ත්‍රී ආසනය අහිමි වූයේ විවෘත ආර්ථිකය ගැන සිහින මැවූ අලස කළගුණ නොදත් මිනිස් සමාජයක් නිසාය. මෙවැනි තත්ත්වයක් යටතේ වුවද 1982 දී පැවැති ජනාධිපතිවරණය සඳහා මෙතුමාගේ නම යෝජනා වීම දෛවෝපගත සිදු වීමකි. ඒ අගමැති ධූරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙතුමන් හට 50% වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දී තිබුණේ හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමන්ගේ ජනතාවාදී මානුෂික ප්‍රතිපත්ති අනුමත කරමිනි. මෙම මැතිවරණ පරාජයත් සමඟම අවස්ථා ගණනකදී ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව මෙතුමන් හට විවිධ අභූත චෝදනා එල්ල කරමින් ප්‍රශ්න කිරීම් රාශියක් සිදු කිරීම නිසා මෙතුමා බලවත් චිත්ත පීඩාවට පත් වී තිබුණි. ඒ හේතුවෙන් විවිධ රෝගාබාධවලට ලක් වූ මෙම අසහාය නායකයා 1983 සැප්තැම්බර් මස 18 වැනි දින සඳහටම දෙනෙත් පියා ගත්තේය. 1977 සිට පැවති කිසිඳු ආණ්ඩුවකින් මෙම ජනහිතකාමි නායකයන්ගේ කිසිඳු මෙහෙවරක් ඇගයීමක් නොකළ අතර 1995 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රජය යටතේ ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආතනය Òහෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය Ò ලෙස නම් කරනු ලැබීය.

ගොවිජන සහ ග්‍රාමීය අංශයේ තිරසර සංවර්ධනය උදෙසා නව දැනුම ජනනය කර එය දියුණුවෙන් දියුණුවට පත් කිරීමෙහිලා සෑම විටම ජනතා හිතෛෂි මානුෂීය මුහුණුවරකින් කටයුතු කළ මෙතුමන්ගේ ක්‍රියා කලාපය අද ජනාධිපතතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති මාලාව සමඟ ද මනා සේ සැසඳේ. එය හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාගේ දුර දක්නා නුවණෙහි මහිමය මනා සේ පිළිබිඹු කරන්නකි. වර්තමාන ආණ්ඩුව ගෙන යනු ලබන ආනයනික රසායනික පොහොර නවතා දේශීය කාබනික පෙහොර ප්‍රචලිත කිරී‍මේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශකයන්ගෙන් යම් ආදර්ශයක් ගත යුතුව ඇත. මන්ද එම නිර්ව්‍යාජ ජනතා හිතෛෂී ප්‍රතිපත්තීන් තුළ කාබනික පොහොර භාවිතා කරමින් කෘෂිකර්මයේ යෙදී සිටින ගොවි ජනතාවට මෙන්ම එහි ඵලය භුක්ති විඳින අප හටද කිසිඳු ආර්ථික මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට අවස්ථා ඇති නොවීමය. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මෙන්ම සමස්ත පොදු ජනතාවටත් අනුපමේය සේවයක් සිදු කරමින් මීට වසර 38කට පෙර අප අතරින් වෙන්ව ගිය හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමනි ඔබගේ නාමය කළ ගුණ දත් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ සදා අනුස්මරණය වෙයි 

Comments

Popular posts from this blog

කොවිඩ් 19 එන්නත් මාත්‍රා මිශ්‍ර කළ හැකි ද?

ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉතිහාසය සහ කොතලාවල වෛද්‍ය පීඨය: "නිදහස් අධ්‍යාපනයේ මිනී පෙට්ටියේ අවසාන ඇනේ"