කොළඹ රතු ධජය
ඔහු කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. කැබිනට් ඇමැතිවරයෙකි. සිංහල හා ඉංග්‍රීසි භාෂා චතුර කථිකයකු වූ ඔහු අවිවාහකයෙකි. ඔහු විවාහ වී සිටියේ ලංකා සමසමාජ පක්ෂය සමඟිනි. පක්ෂයේ කටයුතු කරට ගත් නිසා තරුණ වියේ උසස් අධ්‍යාපනය ලබමින් සිටියදී හෙතෙම උපාධිය ද අතරමඟ අතහැර දැමුවේය.
පෞද්ගලික දේපොළ ක්‍රමයට කැමැත්තක් නොදැක්වූ ඔහුට හිමිව තිබූ කොළඹ පිහිටි ඉඩකඩම්වල භුක්තිය ද පසු කලෙක අන් අයට පවරා දුන්නේය. සැබෑ පන්ති සගයකු වූ ඔහු නමින් බර්නාඩ් සොයිසාය.
මිය යනතුරුම නිහතමානිකමත්, අවංකකමත් හදවත යට සඟවාගෙන සිටි ඔහුට කිසිදා පෞද්ගලික වාහනයක් නොවීය. (ඔහු ජීප් රථයක් භාවිත කළේ 1994දී ඇමැතිවරයකු ලෙස කටයුතු කරද්දී අදාළ කාර්යයන් සඳහා පමණකි)
1970දී පත් වූ සමඟි පෙරමුණ ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූයේ ලංකා සමසමාජ පක්ෂයේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාය. ඔහු රටින් පිටව ගිය සෑම අවස්ථාවකදීම මුදල් ඇමැතිධුරයේ වැඩ බලන්නට පත් කෙරුණේ බර්නාඩ් සොයිසා මහතාය. ඒ සෑම විටකම ඔහු එකී ධුරයේ වැඩ බැලීම සඳහා දිවුරුම් දීමට ජනපති මැඳුරට ගියේ ද යළි ආවේ ද කුලී රියකිනි. (ඒ සඳහා ඔහු ශත 5ක මුදලක් එදා කුලී රථ රියදුරුට ගෙවූ බව අසා ඇත්තෙමි)
ඔහුගේ හිතවතුන් පිරිසක් වරක් මෝටර් රියක් මිලට ගෙන බර්නාඩ් සොයිසා මහතාට දීමට උත්සාහ කර ඇත. එහෙත් ඔහු ඊට අකමැත්ත පළ කර වාහනය ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් හදිසි අවස්ථාවලදී ඔහුගේ මිතුරන් බර්නාඩ් මහතාට වාහන පහසුකම් සපයා දීමට කටයුතු කර තිබේ.
බර්නාඩ් සොයිසා උපන්නේ 1914 මාර්තු 20 වැනිදාය. කුඩා කල බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් ද පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලින් ද ඉන් අනතුරුව කොළඹ ආනන්ද මහ විදුහලට ද ඇතුළත්ව අධ්‍යාපනය ලැබූ ඔහු 1937දී කොළඹ යුනිවර්සිටි කොලීජියේ උගත්තේය.
එහිදී දේශපාලන කටයුතු ගැන උනන්දුවක් දැක්වූ ඔහුගේ හිත ගියේ ලංකා සමසමාජ පක්ෂයේ ට්‍රොස්කිවාදි පිල දෙසටය. 1942දී ඔහු ඉන්දියාවට ගොස් එරට බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය ගොඩනැඟීම සඳහා සහාය වූයේය. එම වසරේ අගෝස්තු මාසයේ සිට ඉන්දියානුවන් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කරන අරගල උත්සන්න විය.
ඒ සඳහා බර්නාඩ් ද සහාය පළ කළ නිසා 1943 ජූලි මාසයේදී හෙතෙම බොම්බායි පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන සිරගත කෙරිණි. ඔහු යළි මෙරටට ආවේ දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසුවය.
මෙරට ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වූයේ 1947 අගෝස්තු 23 වැනිදා සිට සැප්තැම්බර් 20 දින දක්වාය. බර්නාඩ් මුල් වරට දකුණු කොළඹ අසුනට බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් තරග කළේය. එදා එම ඡන්දයෙන් එ.ජා.ප. යේ ආර්.ඒ. ද මැල් ජය ගත්ත ද ඡන්ද පෙත්සමක් නිසා ඔහුට අසුන අහිමි විය.
1948 නොවැම්බරයේ ඒ සඳහා අතුරු මැතිවරණයක් පැවති අතර බර්නාඩ් ඊට ද තරග වැදුණත් හිමි වූයේ පරාජයකි. (එදා අතුරු මැතිවරණයෙන් ජය ගත්තේ එකල කොළඹ සමාජයේ ප්‍රබලයකු වූ ටී.ජී. ජයවර්ධන මහතාය)
1952 පැවති මහ මැතිවරණයට බර්නාඩ් සොයිසා මහතා තරග කළේ ද ටී.ජී. ජයවර්ධන මහතාට එරෙහිව ල.ස.ස.ප.යෙනි. එහෙත් ඉන්ද පරාජය වූ බර්නාඩ් අනතුරුව පැවති කොළඹ නගර සභා මැතිවරණයට තිඹිරිගස්යාය කොට්ඨාසයෙන් ඉදිරිපත්ව ජය ගත්තේය.
1956 පැවති මහ මැතිවරණයට දකුණු කොළඹ අසුනට ලසසපයෙන් ඉදිරිපත් වූ බර්නාඩ් සොයිසා මහතා හිටපු මන්ත්‍රී ටී.ජී. ජයවර්ධන මහතා පරාජය කරමින් පාර්ලිමේන්තුවට පිය නැඟුවේය. 1960 වන විට දකුණු කොළඹ අසුන බහු ආසනයක් විය. එම මාර්තු මස පැවති මහ මැතිවරණයෙන් ද බර්නාඩ් මහතා පාර්ලිමේන්තුවට පත්ව ආවේ විරුද්ධ පක්ෂයේ එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා සමඟය.
1960 ජූලි මැතිවරණයට බර්නාඩ් මුහුණ දුන්නේ කැලණියේ සිට දකුණු කොළඹට සංක්‍රමණය වූ ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟය. දෙදෙනාම පාර්ලිමේන්තුවට පත්ව ආහ. 1965 පැවති මැතිවරණයෙන් ජේ.ආර්. (එජාප), බර්නාඩ් (ලසසප) දෙදෙනාම පාර්ලිමේන්තුවට පත්ව ආවේ නිතරගයෙනි.
1970දීත් දකුණු කොළඹ දිනා ගන්නට මේ දෙදෙනාටම හැකි විය. එනමුත් සමඟි පෙරමුණ ආණ්ඩුව සමඟ තිබූ මිත්‍රත්වය 1975දී පලුදු වීමත් සමඟම ලසසප ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වූහ. ලසසප මන්ත්‍රීවරුන් 17ක් විපක්ෂයේ අසුන් ගත් අතර, බර්නාඩ් සොයිසා මහතාත් ඒ අතර විය.
නැවතත් බර්නාඩ් සොයිසා මහතා පාර්ලිමේන්තුවට එන්නේ 1994 අගෝස්තු මස පැවති මැතිවරණයෙන් පසුවය. පොදුජන එක්සත් පෙරමුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඔහු පත්ව එන්නේ අගමැතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ කැබිනට් මණ්ඩලයටය.
එම ඇමැති මණ්ඩලයේ විද්‍යා, තාක්ෂණ හා මානව සම්පත් සංවර්ධන ඇමැති ධුරයට පත් වන බර්නාඩ් සොයිසා මහතා 1994 පැවති ජනපතිවරණයෙන් බණ්ඩාරනායක මැතිනිය ජයගත් පසු පත් කළ නව කැබිනට් මණ්ඩලයේ ද ඉහත ඇමැති ධුරයේම කටයුතු කළේය.
පාර්ලිමේන්තුව තුළ එදා හෙතෙම කතා කළේ හොඳ හැටි හිතා බලා බුද්ධිමත් විලාසයකිනි. ඔහුගේ ඒ කතා ඇසීමට වඩාත් ප්‍රිය කළේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා බව සඳහන් වේ.
1965 මාර්තු 22වැනිදා පැවති මහ මැතිවරණයෙන් දකුණු කොළඹ (බහු ආසනයෙන්) බර්නාඩ් සොයිසා මහතා සමඟ ජේ.ආර්. ජයවර්ධන මහතා නිතරගයෙන් පාර්ලිමේන්තුවට ආ අවස්ථාවේ ජේ.ආර්. දකුණු කොළඹ පළමුවැනි මන්ත්‍රී ලෙසත්, බර්නාඩ් දෙවැනි මන්ත්‍රී ලෙසත් හඳුන්වනු ලැබීය. එනමුත් දෙදෙනාම එකම ආසනයේ ජයගත් මන්ත්‍රීන් වූ බැවින් බර්නාඩ් මහතා දෙවැනි මන්ත්‍රී ලෙස හඳුන්වනවාට කැමැත්තක් දක්වා නැත.
වරක් කතානායක ඇල්බට් එෆ්.පීරිස් මහතා පාර්ලිමේන්තු රැස්වීමකදී 'මීළඟ කතාව පවත්වන ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතාට අවස්ථාව' දුන්නේ ද දකුණු කොළඹ පළමු වැනි මන්ත්‍රී ලෙස ඔහු හඳුන්වමිනි. බර්නාඩ් සොයිසා මහතා ඔහුට කතා වාරය ලැබුණු අවස්ථාවේදී මෙකී පළමු - දෙවැනි මන්ත්‍රී හැඳින්වීමට හීන් පහරක් ගසමින් කතා කළේ ජයවර්ධන මහතාටත් මතක හිටින කතාවක් පවසමිනි.
'මම ළඟදී අංගොඩ මානසික රෝහලට ගියා. ගේට්ටුව ළඟට ගිහින් මං කවුද කියලා හඳුන්වලා දුන්නා, මම තමයි දකුණු කොළඹ මන්ත්‍රී කියලා. එතකොට ගේට්ටුව ළඟ හිටපු කෙනෙක් කීවා 'එහෙම වෙන්න බෑ මමනෙ දකුණු කොළඹ මන්ත්‍රී' කියලා. මිනිහට හොඳටම තරහ ගිහින් මට ඒකටත් උත්තර දෙන්න සිදු වුණා. මම ඒ මනුස්සයාට කීවා 'දකුණු කොළඹ කියන්නේ බහු ආසනයක්නේ, ඒකෙ එක මන්ත්‍රී කෙනෙක් මම, අනික් එක්කෙනා ඔබතුමා වෙන්න ඇති' කියලා'.
බර්නාඩ් සොයිසා මහතා උගත් බුද්ධිමතෙකි. ක්ෂේත්‍ර ගණනාවක දැනුම් සම්භාරයක් තිබූ ඔහුට වාමාංශික න්‍යායධර්ම පිළිබඳව තිබුණේ ද හසළ දැනුමකි. සැබැවින්ම ඔහු ලසසපයේ න්‍යායාචාර්යවරයා විය. ජේ.ආර්. ජයවර්ධන මහතා ද උගතෙකි. ඔහුට තිබුණේ දක්ෂිණාංශික දේශපාලනයකි. මේ දෙදෙනාම එකම ආසනයේ මන්ත්‍රීන් ලෙස කටයුතු කළේ කරට කර ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි. 1960 ජූලි මැතිවරණයේදී ජේ.ආර්. එජාපයෙන් ඡන්ද 25814ක් ලබා ගන්නා විට බර්නාඩ් ද ලසසපයෙන් ඡන්ද 23914ක් ලබා ගත්තේය.
1945 වසරේ සිට 1947 වසර දක්වා ලසසපයේ වෘත්තීය සමිති කටයුතුවලට ප්‍රමුඛව පෙරමුණ ගෙන කටයුතු කළේ ද බර්නාඩ් සොයිසා මහතාය. 1947 මහා වැඩ වර්ජනය පසුබිමේ ද ඔහු සිටියේය. 1953 හර්තාලයේදී දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයන් ඊට පොලඹවා දුම්රිය ධාවනය නතර කිරීමටත්, මොරටුව ප්‍රදේශයේ විදුලි බලය අත්හිටුවීමටත් ක්‍රියා කර හර්තාලය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජනතා සහාය දුන්නේ ඔහුය.
ඔහු වෘත්තීය අරගලවලදී පෙරමුණ ගත්තේ බොහෝ කල්පනාකාරීව සිතා බලාය. වරක් අමෙරිකානු අධිරාජ්‍යයෙන් කියුබාවේ නායක ෆිදෙල් ක්‍රැස්තෝට කෙනෙහිලිකම් එල්ල වෙද්දී ඒ අසාධාරණයට එරෙහිව ගාලු පාර කොල්ලුපිටියේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි. එහි පෙරමුණේ සිටියේ බර්නාඩ් සොයිසා මහතාය. එහිදී පොලිසිය සමඟ ඇති වූ ගැටුමකදී ප්‍රහාරයකට ලක්ව ඔහුගේ අතක් බිඳී ගියේය.
තවත් අවස්ථාවක ලසසප නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා කොළඹ නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. ඇන්.ඇම්. එම තනතුරේ රැඳී සිටීම කොළඹ ඇතැම් දක්ෂිණාංශිකයන්ට 'වහකදුරු' මෙන් විය. එනිසා ඔහු නගරාධිපතිකමින් පලවා හැරීමට කුමන්ත්‍රණ ආරම්භ වෙමින් තිබිණි.
ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරිණි. එහිදී පක්ෂ නායකයා රැක ගැනීම සඳහා බර්නාඩ් සොයිසා නාගරික මන්ත්‍රීවරයා කොළඹ නගර සභාව තුළ පැය දහයකට ආසන්න කාලයක් කතා කිරීම එදා කාගේත් ප්‍රශංසාවට ලක් වූ කාරණයක් විය. ඔහුගේ මුළු කතාවම සිත් ගන්නා සුළු විය. කතා කළේ උපමා හා තර්ක නඟමිනි. ඇතැම් කරුණු විශ්ලේෂණය කරමිනි.
පාර්ලිමේන්තුවේ තීරණය අනුව බර්නාඩ් සොයිසා මහතා දිගු කලක් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
ලෙස්ලි ගුණවර්ධන මහතා ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් ධුරයේ දිගු කලක් කටයුතු කර 1970 මහ මැතිවරණයෙන් පසු සමඟි පෙරමුණු ආණ්ඩුවේ ඇමැතිවරයෙක් බවට පත් විය. ලසසප ව්‍යවස්ථාවට අනුව අනතුරුව එවැන්නකුට ලේකම් ධුරය දැරිය නොහැකිය. ඒ අනුව පක්ෂයේ ලේකම් ධුරයට සුදුස්සා වූයේ බර්නාඩ් සොයිසා මහතාය. 1977දී මැතිවරණ පරාජයෙන් පසුවත් ලසසපයේ ලේකම් ධුරය දැරුවේ ඔහුය.
බර්නාඩ් සොයිසා මහතා ප්‍රථම පළාත් සභා ඡන්දයට ඉදිරිපත්ව විශාල ඡන්ද සංඛ්‍යාවකින් ජය ගත්තේය. එදා බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායකත්වයට සුදුස්සා වූයේ ඔහුය. වෙනත් මහජන නියෝජිතයෙක් එම ධුරයට පත් කෙරුණු අතර, පසු කලෙක ඔහු නතර වූයේ එජාපයේය. එනමුත් නිහඬව සිටි බර්නාඩ් සොයිසා මහතාගෙන් එදා ප්‍රධාන අමාත්‍යවරයා වූ සුසිල් මුණසිංහ මහතා නිරතුරුවම උපදෙස් ගත්තේ ඔහු පරිණත දේශපාලනඥයකු වූ නිසාය.
වරලත් ගණකාධිකාරී ආයතනය පිහිටුවීමට පුරෝගාමී සේවයක් කළ ඒ මහතා විද්‍යා හා තාක්ෂණ සහ මානව සම්පත් සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේදී හිරුඑළිය සහ සුළං මඟින් බලශක්තිය නිපදවීම පිළිබඳවත්, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පිළිබඳවත් යෝජනා රජයට ඉදිරිපත් කළේය.
වරක් මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න මහතා මෙසේ සඳහන් කර තිබිණි. 'බර්නාඩ් සහෝදරයා යුනිවර්සිටි කොලීජියේ මගේ සගයෙකි. එදා පක්ෂ සංවිධාන කටයුතු සඳහා ඔහු මෝදර, මට්ටක්කුලිය, උතුරු කොළඹ ගෙන් ගෙට ගියේය. දේශපාලන පන්ති පැවැත්වුණේ වැල්ලේය. ඒ දේශපාලන කටයුතු කරගෙන ගියේ පොලිසියට රහසෙනි. ඒවා නිමවී මගේ බයිසිකලයේ නැඟී තිඹිරිගස්යායේ ඔහුගේ නිෙවසට රාත්‍රියේ එන විට ගේට්ටුව වසා තිබෙන බැවින් ඔහු මගේ උරහිසින් ගේට්ටුවට නැඟ ඇතුළට පැන ගනී. ගෙතුළ දොරගුළු ලා තිබෙන සෑම විටම ඔහු මුළු රැයම පහන් කළේ ඉස්තෝප්පුවේය. මා සමසමාජය වැලඳ ගත්තේ ඔහු ඇසුරින් ලද දැනුම් සම්භාරයත්, ඔහු සතු පොත් පත් කියවීමෙනුත්ය.'
පක්ෂය වෙනුවෙනුත්, ජනතාව වෙනුවෙනුත් අවංකව සිය සේවය ඉටු කළ මේ පන්ති සහෝදරයා වයස අවුරුදු 83ක්ව තිබියදී 1997 දෙසැම්බර් 30 වැනිදා මෙලොව හැර ගියේය.
ඔහුගේ ජනතා සේවය අගය කරමින් මුද්දර කාර්යාංශය මඟින් 2001 මාර්තු 20 වැනිදා බර්නාඩ් සොයිසා මහතාගේ රුවින් යුතු සමරු මුද්දරයක් නිකුත් කෙරිණි. ඔහු ජීවත් වූ නාරාහේන්පිට, කිරුළ පාර 2014දී බර්නාඩ් සොයිසා මාවත නමින් නම් කෙරිණි.
Comments
Post a Comment