මොකක්ද මේ ඇෆ්ගන් යුද්ධය? ප්‍රශ්න දහයකට පිළිතුරු
ඇෆ්ගන් යුද්ධයට විසි වසරක් ගතවීමෙන් පසුව එක්සත් ජනපදය සිය හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගත්තේය.
ඇමරිකානු හා මිත්‍ර හමුදා එක්ව තාලිබාන් සහ අල් ඛයීඩා සටන්කරුවන්ට එරෙහිව දියත් කළ යුද්ධයේ කේන්ද්‍රස්ථානය වූයේ බග්රම් ගුවන් කඳවුරයි.
එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ ඒකාබද්ධ විදෙස් හමුදා මෙම කඳවුරට ඇතුළු වුණේ 2001 වසරේ දෙසැම්බරයේදී ය. අනතුරුව මෙම ගුවන් කඳවුර, සොල්දාදුවන් 10,000ක් රැඳවිය හැකි විශාල කඳවුරක් බවට සංවර්ධනය විය.
දැන්, මෙම කඳවුරෙන් විදෙස් හමුදා ඉවත්ව ගොස් හමාරය. එය සිදුවූයේ, ලබන සැප්තැම්බරයේ 11වැනිදාට පෙර සිය හමුදා භටයන් සියලුදෙනාම ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කර ගන්නා බවට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දීමෙන් අනතුරුව ය.
මේ අතරවාරයේ තාලිබාන්වරු රටේ බොහෝ ප්‍රදේශ නැවත අත්පත් කරගනිමින් සිටිති. ඇෆ්ගනිස්ථානයේ දිස්ත්‍රික්ක කීපයක්ම මේ වන විට ඔවුන්ගේ පාලනයට නතු කරගෙන හමාරය.
ඇෆ්ගන් රජයේ හමුදා
ඇෆ්ගන් යුද්ධයට ගිය වියදම අතිශයින් ම විශාලය. අහිමි වූ ජීවිත ගණන ද ඉතා ඉහළය.
මෙතරම් විදමක් දරා ජීවිත ගණනාවක් අහිමි කරගනිමින් විසිවසරක් යුද වැදුණේ කුමක් ජය ගැනීමට ද? ඇමරිකානු හමුදා ඔවුනට පැවරී තිබුණු රාජකාරිය ඉටු කළාද? අරමුණ ජය ගත්තා ද?
මුලින්ම ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ ඇයි?
2001 වසරේ සැප්තැම්බර් 11වැනිදා එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරයෙන් 3000කට ආසන්න පිරිසක් මරණයට පත් වූහ.
මෙම ප්‍රහාරය එල්ල කෙරුණේ පැහැරගත් ගුවන් යානා දෙකක් නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳපල ගොඩනැගිල්ලේ ගැටීමට සැලැස්වීමෙනි. තවත් ගුවන් යානයක් වර්ජීනියා ප්‍රාන්තයේ පෙන්ටගනය වෙත කඩා වැටෙන්නට සැලැස්විණි. හතරවැනි යානය පෙන්සිල්වේනියා ප්‍රාන්තයට කඩා වැටුණි.
අල් ඛයීඩා සංවිධානයේ එවකට නායක, ඔසාමා බින් ලාඩන් මෙම ප්‍රහාරයට වගකිව යුතු බව සැනෙකින් හඳුනා ගන්නා ලදි.
සැප්තැම්බර් 11 ප්‍රහාරය
ඇෆ්ගනිස්තානය පාලනය කරමින් සිටි තාලිබාන් සංවිධානය බින් ලාඩන් ඇමරිකාවට භාරදීම ප්‍රතික්ෂේප කළේය. ඔහු ආරක්ෂා කළේය. එම නිසා එකී ඉස්ලාමීය කණ්ඩායම් දෙකම පරාජය කිරීම සඳහා, සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් මසක් ගත වූ පසු ඇෆ්ගනිස්තානයට එරෙහිව එක්සත් ජනපදය ගුවන් ප්‍රහාර දියත් කළේය.
ඊට පස්සේ මොකද වුණේ?
එක්සත් ජනපදය සහ ජාත්‍යන්තර හමුදා පහර දෙන්නට පටන් ගෙන මාස දෙකක් ගත වෙද්දී තාලිබාන් රෙජීමය බිඳ වැටුණි. එහි සටන්කරුවෝ පාකිස්තානය තුළට විසිරී ගියහ.
නමුත් ඔවුහු අතුරුදහන් නොවූහ. ඔවුන්ගේ බලපෑම නැවත වැඩෙන්නට විය. මේ කණ්ඩායම මත්ද්‍රව්‍ය ජාවාරම, පතල් කර්මාන්තය සහ බදු එකතුකිරීම් මගින් ඩොලර් මිලියන ගණන් එක්රැස් කරමින් සිටියහ.
ඔසාමා බින් ලාඩන්
ඇමරිකාවේ සහාය ඇතිව පිහිටවාගනු ලැබුණු නව ආණ්ඩුවක් ඇෆ්ගනිස්ථානයේ පාලනය භාර ගත්තේ 2004 දීය. නමුත් තාලිබාන් කැරලිකරුවෝ වරින් වර මාරාන්තික ප්‍රහාර එල්ල කළහ. නව ජවයක් ලද තාලිබාන් තර්ජනය මැඩපැවැත්වීම ඇෆ්ඝන් රජයේ හමුදා සමඟ කටයුතු කරන ජාත්‍යන්තර හමුදාවට අසීරු කටයුත්තක් විය.
මෙම ගැටුම නිසා ඇෆ්ගන් හමුදාවට මෙන්ම සිවිල් වැසියන්ට ද සිදුවූ හානිය අතිමහත් ය.
ඒ කියන්නේ ඇෆ්ගන් ප්‍රශ්න පටන් ගත්තේ 2001දී ද?
කෙටියෙන් කියනවනම් - නැහැ.
ඇමරිකානු ආක්‍රමණය සිදුවන්නටත් පෙර සිට ඇෆ්ගනිස්ථානය දශක කීපයක් තිස්සේ යුද පිටියක්ව පැවතුණි.
හැත්තෑව දශකය අග භාගයේ දී සෝවියට් හමුදාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ එවකට පැවති කොමියුනිස්ට් රජයට සහයෝගය ලබා දීම සඳහාය. කොමියුනිස්ට් ආණ්ඩුවට එරෙහිව සටන් කරමින් පැවති මුජහිදීන් ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා සෝවියට් හමුදාව සටන් වැදුණි.
මුජහිදීන් ව්‍යාපාරයට ඇමරිකාව, පකිස්ථානය, චීනය සහ සෞදි අරාබිය ආදී රටවල් කීපයක සහයෝගය පැවතුණි.
2001 පටන් විදෙස් හමුදා විසින් තලිබාන් කැරලිකරුවන්ට එරෙහිව දියත් කරනු ලබමින් සිටි යුද මෙහෙයුම
1989 වසරේදී සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිට වූහ. නමුත් සිවිල් යුද්ධය දිගටම පැවතුණි.
පවතින ව්‍යාකූල තත්වය අතරතුර තාලිබාන් ව්‍යාපාරය මතු විය. (තාලිබාන් යන වචනය 'ශිෂ්‍යයෝ' ලෙසින් පරිවර්තනය කළ හැකිය.)
තාලිබාන් මෙතරම් බලපෑමක් කළේ කොහොමද?
90 දශකයේ මුල් කාලය ඇතුළත පකිස්ථානයේ උතුරු දේශසීමාව අද්දර පළාත් සහ ඇෆ්ගනිස්ථානයේ නිරිතදිග පළාත්වල තාලිබාන් බලය නැගී සිටියේය.
දුෂණයට එරෙහිව සටන් කරන බවටත් රටේ ආරක්ෂාව තහවුරු කරන බවටත් ඇෆ්ගනිස්ථානයේ සිවිල් යුද්ධයේ බලපෑම හේතුවෙන් බැටකමින් සිටින ජනතාවට තලිබාන්වරු ප්‍රතිඥා දුන්හ.
ඔවුන්ගේ බලපෑම ඉක්මනින් විහිදුණි. මනුෂ්‍ය ඝාතනවලට සහ ස්ත්‍රී දූෂණවලට වැරදිකරුවන් වුවන් ප්‍රසිද්ධියේ එල්ලා මැරීම සහ සොරකම් කළවුන්ගේ අතපය කපා දැමීම වැනි ඉස්ලාමීය දඬුවම් දියත් කිරීමට ඔවුහු ක්‍රියා කළහ. පිරිමි රැවුල වැවිය යුතු විය. ස්ත්‍රීන් මුහුණ සහ සිරිර වැසෙන පරිදි බුර්කාව ඇඳිය යුතු විය.
තාලිබාන්වරු රුපවාහිනිය, සංගීතය සහ සිනමාව ද තහනම් කළහ. වයස අවුරුදු 10ට වැඩි ගැහැණු ළමුන්ට පාසල තහනම් විය.
එහෙමනම්, තාලිබාන් ඇත්තටම රටින් පිටවෙලා නැහැ?
තාලිබාන් සහ අල් ඛයීඩා සටන්කරුවන්ට එරෙහිව දියත් කළ යුද්ධයේ කේන්ද්‍රස්ථානය වූයේ බග්රම් ගුවන් කඳවුර (2013)
පසුගිය දශක දෙකක කාලය ඇතුළත තාලිබාන් වරින්වර පසුබැසීමට ලක්වුනත් නියත පසුබෑමක් වූයේ නැත.
2001 පටන් විදෙස් හමුදා විසින් තලිබාන් කැරලිකරුවන්ට එරෙහිව දියත් කරනු ලබමින් සිටි යුද මෙහෙයුම 2014දී නවතා දමන ලදි. තාලිබාන්වරුන්ට එරෙහිව විදෙස් හමුදා එල්ල කළ දරුණුතම ප්‍රහාර මාලාව සිද්ධ වූයේ එම වසරේදී ය.
එතැන් පටන් තාලිබාන් ව්‍යාපාරයට එරෙහි සටන කරගෙන යාම ඇෆ්ඝන් හමුදාවට පවරන ලදී.
නමුත් එමගින් තාලිබාන්වරුන්ට නැවත නැගී සිටීම සඳහා අවස්ථාවක් උදා විය. භූමි අත්පත්කර ගැනීම්, රාජ්‍ය සහ සිවිල් ඉලක්ක වෙත බෝම්බ ප්‍රහාර එල්ල කිරීම් සිදු විය.
2018 දී ඇෆ්ඝනිස්තානයේ භූමි ප්‍රමාණයෙන් 70%ක් පුරා තලිබාන් ව්‍යාපාරය විවෘතව ම ක්‍රියාකාරීව සිටි බව බීබීසීයට හෙළිදරව් වී තිබුණි.
මේ ගැටුම නිසා සිදුවූ පාඩුව කොපමණද?
එක්සත් ජනපදයේ හමුදාවට සම්බන්ධ පුද්ගලයන් 2,300කට අධික පිරිසක් මෙම ගැටුම නිසා මරණයට පත්වූ අතර 20,000කට අධික පිරිසක් තුවාල ලැබූහ. තවත් 450කට අධික බ්‍රිතාන්‍ය ජාතික භටයන් සහ වෙනත් ජාතිකයන සිය ගණනක් ඊට ගොදුරු වූහ.
නමුත් මෙම ගැටුමේ වැඩිම පීඩාව උසුලන්නට සිදුවූයේ ඇෆ්ගන් ජාතිකයන්ට ය. ඇතැම් විශ්ලේෂණ මගින් කියැවෙන්නේ ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් 60,000කට අධික පිරිසක් මරණයට පත්වූ බවය.
මෙම ගැටුමට මැදිවී ජීවිත අහිමි වන සිවිල් වැසියන් පිළිබඳව නිල වශයෙන් ලේඛනගත කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව සාමාන්‍ය වැසියන් 111,000කට ආසන්න සාමාන්‍ය වැසියන් ප්‍රමාණයක් මිය ගොස් ඇති බව 2009 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේය.
ඇෆ්ගන් යුද්ධය නිසා ඩොලර් ට්‍රිලියනයක තරම් වූ විශාල මුදලක් එක්සත් ජනපදයේ බදු ගෙවන්නන්ට දරන්නට වූ බව එක් අධ්‍යයන වාර්තාවක් සඳහන් කරයි.
තාලිබාන් සමඟ ගිවිසුමක්?
බග්රාම් ගුවන් කඳවුරේ සිටි එක්සත් ජනපද සහ නේටෝ හමුදාවලට අයත් සියලු දෙනා ඉවත් වූ අතර එහි ආරක්ෂාව ඇෆ්ගන් රජයට පැවරිණි
වසර කීපයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව ඇෆ්ගනිස්තානයට "සාමය උදාකර ගැනීමේ ගිවිසුමක්" 2020 වසරේ පෙබරවාරියේදී අත්සන් තැබුණි.
තලිබාන් පාලනය පවතින කිසිදු ප්‍රදේශයක අල් ඛයීඩා හෝ වෙනත් අන්තවාදී සංවිධානයකට අවසර නොදෙන බවට තාලිබාන් ව්‍යාපාරය එකඟ වූ අතර එක්සත් ජනපද සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමට එකඟ වූහ.
එම ගනුදෙනුවේ තවත් කොටසක් ලෙස සිරකරුවන් නිදහස් කිරීමට ඇෆ්ඝන් රජය සහ තාලිබාන් ව්‍යාපාරය ක්‍රියා කළහ.
සාම ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව තලිබාන් සිරකරුවන් 5000ක් පමණ නිදහස් කෙරුණි.
තලිබාන් ව්‍යාපාරයට එරෙහිව පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීම සඳහා කටයුතු කරන බවට එක්සත් ජනපදය ප්‍රතිඥා දුන්නේය.
එක්සත් ජනපදය සහ තාලිබාන් ව්‍යාපාරය අතර මෙවර සාකච්ඡා පැවැත්වුණේ සෘජුවම ය. ඇෆ්ගන් රජය ඊට මැදිහත් නොවුණි. සාකච්ඡා නිමවීමෙන් අනතුරුව එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ "වසර ගණනාවකට පසුව අපේ මිනිසුන් ආපසු ගෙදරට ගෙන්වා ගැනීම සඳහා කාලය පැමිණ ඇති" බවය.
ඇෆ්ගනිස්තානයේ වසර විස්සක්: යුද්ධය නිසා නැති වූ දේ මොනවාද?
ඇමරිකානු හමුදාවේ සියලු දෙනාම පිට වෙනවාද?
බග්රාම් ගුවන් කඳවුරේ සිටි එක්සත් ජනපද සහ නේටෝ හමුදාවලට අයත් සියලු දෙනා ඉවත් වූ අතර එහි ආරක්ෂාව ඇෆ්ගන් රජයට පැවරිණි.
එක්සත් ජනපද හමුදා භටයන් 650ක් පමණ තවදුරටත් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කර තිබුණි. එහි ප්‍රධාන අරමුණ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සඳහා ආරක්ෂාව සැපයීම සහ කාබුල් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආරක්ෂා කිරීමය.
දැන් තත්වය කොහොමද?
විදෙස් හමුදා පිටව යමින් සිටිය දී තාලිබාන්වරු රටේ බොහෝ ප්‍රදේශවල පාලනය අත්පත් කර ගනිමින් සිටින අතර...
සාම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව තාලිබාන්වරු සිය ප්‍රහාරවල ස්වභාවය වෙනස් කර තිබේ. හමුදා සහ නාගරික ඉලක්ක වෙත ඔවුන් එල්ලකරමින් සිටි සංකීර්ණ ප්‍රහාර වෙනුවට ඔවුන් දැන් සිදු කරන්නේ ජනතාව භීතියට පත්කරවන, ඉලක්කගත මනුෂ්‍ය ඝාතන ය.
විදෙස් හමුදා පිටව යමින් සිටිය දී ඔවුහු රටේ බොහෝ ප්‍රදේශවල පාලනය අත්පත් කර ගනිමින් සිටින අතර ආණ්ඩුව පෙරලා දැමීමේ තර්ජනය නැවත හිස ඔසවා තිබේ.
අල් ඛයීඩා සංවිධානය ද ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී. ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ද රට තුළ ප්‍රහාර දියත් කළේය.
කාබුල් නුවර පාලනයේ අනාගතය පිළිබඳව සැලකිල්ලට භාජනය වී තිබේ. නමුත් ඇෆ්ඝන් ජනපති අෂ්රෆ් ඝානි අවධාරණය කර සිටින්නේ තලිබාන්වරුන් එපිට මායිමට පමණක් සීමා කර තැබීමට රජයේ හමුදාවට හැකියාව පවතින බවය.
ඇෆ්ඝනිස්ථානයේ දශක දෙකක්: ඉන් පලක් වුණිද?
"පිළිතුර රඳා පවතින්නේ ඔබේ මිණුම් දණ්ඩ මතයි" බීබීසීයේ ආරක්ෂක වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් පැවසීය.
ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක බලධාරියෙකු බීබීසීයට කියා සිටියේ ඇෆ්ගන් යුද්ධය ආරම්භ වූ දා පටන් අද දක්වා, ඇෆ්ගනිස්ථානයේ සිට සැලසුම් කළ එකදු සාර්ථක ජාත්‍යන්තර ප්‍රහාරයක් හෝ එල්ල වී නොමැති බවය.
"එම නිසා, ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී මිනුම් දණ්ඩෙන් පමණක් මැන බලන්නේ නම්, බටහිර හමුදා එහි පැවතීම මගින් එකී අරමුණ ජයගෙන තිබෙනවා," ෆ්‍රෑන්ක් ගාඩ්නර් ප්‍රකාශ කළේය.
නමුත් දශක දෙකක් ඇවෑමෙන් තලිබාන් ව්‍යාපාරය සම්පුර්ණයෙන් පරාජය කර නොමැත. තවමත් එය භයානක සටන් කණ්ඩායමක් ලෙස පවතී.
ඇතැම් වාර්තාවලින් කියැවෙන්නේ ඒකාබද්ධ හමුදා පිටවීමත් සමඟ ජීවිත සිය ගණනක් අහිමි කරමින් දරුණු ප්‍රචණ්ඩතා ජුනි මාසයේදී ඇතිවූ බවය.
එමෙන්ම, අමාරුවෙන් සංවර්ධනය කර ගත් ඇතැම් ක්‍ෂේත්‍ර දැන් තර්ජනයට ලක්වී ඇත. බොහෝ පාසල්, රජයේ ගොඩනැගිලි සහ විදුලි බල සැපයුම් පද්ධති විනාශ වී හෝ හානියට පත්වී ඇත.
"අල් ඛයීඩා, ඉස්ලාමීය රාජ්‍යය (IS) සහ වෙනත් සටන් කණ්ඩායම් අතුරුදහන්වෙලා නැහැ. බටහිර හමුදා ඉවත්වීමත් සමඟ ඒවා නැවත නැගී සිටීමට සහ ධෛර්යමත් වෙන්නට පටන් ගෙන ඇති බවට සැකයක් නැහැ," ආරක්ෂක වාර්තාකරු ගාඩ්නර් තවදුරටත් පැවසීය.








Comments
Post a Comment