බාධක රැසක් මැද ඉදි වන අධිවේගි ගමන් මඟ
අන්තර්ජාතික වශයෙන් මෑත කාලයේ වැඩි කතාබහට ලක් වූ ආර්ථික ව්‍යාපෘතිය වන්නේ චීනය විසින් ලොවට හඳුන්වා දුන් එක් මාවතක් - එක් තීරයක් ගෝලීය ආර්ථික සංවර්ධන ව්‍යාපෘතියයි. එම ව්‍යාපෘතියට ආර්ථික කොරිඩෝ කිහිපයක්ම ඇතුළත්ය. ඕනෑම රටක සංවර්ධනයෙහිලා මෙවැනි ආර්ථික කොරිඩෝවක ඇති වැදගත්කම ඉමහත්ය. එවැනි ආර්ථික කොරිඩෝවක් බිහි කිරීමේදී ඉහළ ප්‍රමිතියකින් යුතු අධිවේගී මාර්ග පද්ධතියකට ලැබෙනුයේ මුල් තැනකි.
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග සංවර්ධන ක්‍රියාවලිය මෙරට ආර්ථිකය ගොඩ නැඟීමේ වැදගත් සාධකයක් බවට පත් වන්නේ ඒ අයුරිනි. ලොව පුරා දියුණු හා නොදියුණු වශයෙන් විවිධ රටවල අධිවේගී මාර්ග සංවර්ධනය දශක කිහිපයක් පුරා සිදු වූව ද ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉතිහාසය දශකයකට වඩා දීර්ඝ නැත. මෙරට ජනතාවට පළමුවරට අධිවේගි මාර්ගයක අත්දැකීම් ලැබෙනුයේ වසර 2011 දී විවෘත කළ දක්ෂිණ අධිවේගී මාර්ගයත් සමඟනි. අනතුරුව දෙවැනි අධිවේගී මාර්ගය ලෙස වසර 2013 දී කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කෙරිණි. ඉදිරියේදී තවත් අධිවේගී මාර්ග කිහිපයක්ම මෙරට අධිවේගී මාර්ග ජාලයට එක් වනු ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වැඩ ආරම්භ කළ නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මතින් ඉදි වන අධිවේගී මාර්ගය මේ අතුරින් වැඩි කතාබහට ලක් වී තිබේ. එම අධිවේගී මාර්ගය ඉදි වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට මෙන්ම බත්තරමුල්ල, කඩුවෙල සහ අතුරුගිරියේ සිට කොළඹට පැමිණෙන රථ වාහන හේතුවෙන් වර්තමානයේ පවතින දැඩි වාහන තදබදය අවම කිරීම අරමුණු කරමිනි. නව කැලණි පාලම - අතුරුගිරිය කුලුනු මතින් දිවෙන අධිවේගී මාර්ගය මංතීරු 4කින් සමන්විත අතර කිලෝමීටර් 16. 4ක දුරකින් යුතුය.
වසර 3කින් ඉදි කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇති එම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු සිදු කරනු ලබන්නේ චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසිනි. ඉදිකොට පවත්වාගෙන ගොස් පවරාදීමේ පදනම (build, operate and transfer -BOT) මත එම කොන්ත්‍රාත්තුව චයිනා හාබර් ඉංජිනේරු සමාගමට පවරා දෙනු ලැබුවේ කැබිනට් අනුමැතිය යටතේය. ඉදි කිරීමෙන් පසු වියදම් පියවා ගැනීමට වසර 15ක කාලයක් එහි අයිතිය ඉහත කී චීන සමාගමට හිමි වන අතර, නියමිත කාලසීමාවෙන් පසු ශ්‍රී ලංකා රජයට පවරා දිය යුතුව ඇත.
ඒ අනුව නව කැලණි පාලම - අතුරුගිරිය කුලුනු මතින් දිවෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය රජයට කිසිදු වියදමක් දැරීමට සිදු නොවන අතර 100%ක් විදේශීය ආයෝජනයකි. එහෙත් එය විදේශීය සමාගමක් විසින් හිමිකාරීත්වය දරනු ලබන ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය ලෙස හුවා දක්වන ඇතැම් පාර්ශ්ව චීනය විසින් මෙරට යටිතල පහසුකම් පාලනයට අත පොවනු ලැබීමක් බවට මත පළ කර කරමින් සිටිති.
සැබැවින්ම ලොව බොහෝ රටවල අධිවේගී මාර්ග ඇතුළු විවිධ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් විදෙස් රටවල ආයෝජන කිරීම දිගු කාලයක් පුරා සිදු වන්නකි. එමෙන්ම ඉදිකොට පවත්වාගෙන ගොස් පවරාදීමේ පදනම මත මෙවැනි ව්‍යාපෘති ලොව පුරා විවිධ රටවල ක්‍රියාත්මක කෙරේ. එවැනි සංවර්ධන ව්‍යාපෘති සඳහා අදාළ ඉදි කිරීමේ සමාගම් අයත් රටවල් සහ සංවර්ධනය සිදු වන රටවල් අතර පවතින මිත්‍රත්වය ද හේතු වේ. එම සංවර්ධන ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදු වන බවට විශ්වාසයක් ගොඩ නැගෙන්නේ ඒ අනුවය. චයිනා හාබර් ඉංජිනේරු සමාගම මේ ව්‍යාපෘතියට එක් වන්නේ චීන රජය සතු චයිනා කොමියුනිකේෂන්ස් ඉදිකිරීම් සමාගමෙහි උප සමාගමක් වශයෙනි.
නව කැලණි පාලම - අතුරුගිරිය අධිවේගී මාර්ගය අරභයා ඇතැම් පාර්ශ්ව මතු කරනු ලබන තර්කය වන්නේ එය ඉදිකොට පවත්වාගෙන ගොස් පවරාදීමේ පදනම මත සිදු කළ හැකි ව්‍යාපෘතියක් නොවන බවය. එම ව්‍යාපෘතිය සඳහා පසුගිය රජය ද ආයෝජකයකු සොයමින් සිටි බවත්, ඉහත කී පදනම මත එම ව්‍යාපෘතිය සිදු කළ නොහැකි බවට එක්තරා ශක්‍යතා අධ්‍යයනයකින් තහවුරු වූ බවත් විපක්ෂයේ මන්ත්‍රීවරයකු පසුගියදා විදෙස් වෙබ් අඩවියකට ප්‍රකාශ කර තිබිණි. ඉන් නොනැවතී කිලෝමීටර් 17කට ආසන්න එම අධිවේගී මාර්ගයේ ගාස්තු අය කිරීමෙන් ආයෝජකයකුට තම මුල් ආයෝජනය ආවරණය කරගැනීමට සහ සාධාරණ ලාභයක් අත්කර ගැනීමට නොහැකි බවටත් ඔහු කරුණු පෙන්වා තිබිණි. එහෙත් අදාළ ඉදිකිරීමේ සමාගම එම පදනම මත කටයුතු සිදු කිරීමට ගිවිසුම්ගත වීමෙන් එම තර්කය අභියෝගයට ලක් වෙයි.
එපමණක් නොව ඉදි කොට පවත්වාගෙන ගොස් පවරා දීමේ පදනම මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති ණය මූල්‍ය ව්‍යාපෘතිවලට වඩා වාසිදායක බවට රාජ්‍ය ණය හා මූල්‍ය කටයුතු පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කරන විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරුන් පවා අදහස් පළ කර ඇත. වැදගත් වන්නේ එවැනි වර්ගයේ ව්‍යාපෘති රටකට සුදුසු වූවත් විනිවිදභාවයකින් සහ තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් තුළින් සිදු කළ යුතු වීමත්, එවැනි ව්‍යාපෘතිවල වාසිය ඉදිකිරීමේ සමාගමට නොව අදාළ රටට අත් විය යුතු වීමත් විද්වතුන්ගේ තවත් අදහස් කිහිපයකි.
මෙරට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමේදී ඒ සඳහා සුදුසු නිශ්චිත ක්‍රමවේද පිළිබඳ මනා අවබෝධයක් වත්මන් රජය සතුව පවතී. නව කැලණි පාලම අතුරුගිරිය කුලුනු මතින් දිවෙන අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව ලබා ඇති චයිනා හාබර් ඉංජිනේරු සමාගම ඊට අමතරව තවත් ව්‍යාපෘති රැසක කොන්ත්‍රාත්තු අත්කර ගෙන සිටී. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ද අත්කරගනු ලැබුවේ ඉහත කී සමාගම විසිනි.
චීනය විසින් මෙරට සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව බොහෝ රටවල අවධානය යොමු වීම එක්තරා ආකාරයක දේශපාලනික කාරණාවකි. ඉන්දියාව ද එසේ චීන ව්‍යාපෘති පිළිබඳ අවධානයෙන් පසුවන රටකි. ඊට අමතරව චීන ආයෝජන සමාගම් මෙරට සිදු කරනු ලබන විවිධ සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි මෙරට විපක්ෂය ඇතුළු තවත් සංවිධාන රැසක් අවධානයෙන් පසු වීමත් නොරහසකි. සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය අයෝජකයන් ගෙන්වා ගැනීමේදී ඕනෑම රටකට එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම ද සුලබ කරුණකි. පසුගිය කාලයේ තිස්ස වැව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට එක්ව සිටි චීන සමාගමක සේවකයන් පිරිසක් මහජන චීන හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සිටි බවට නැඟුණු චෝදනාව ඊට එක් නිදසුනකි. එහෙත් පසුව මෙරට චීන තානාපති කාර්යාලය ‘ට්විටර්‘ පණිවිඩයක් මගින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කරුණු දක්වා තිබිණි.
චීන ආයෝජකයන් මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා දායකත්වය දීම පිළිබඳ ඉන්දියාව කනස්සල්ලට පත් වී ඇතැයි ඇතැම් විදෙස් වාර්තා මගින් කියැවේ. වරාය නගරයේ ආයෝජන සඳහා එක් වන ලෙස කොළඹ වරාය නගරයේ නිලධාරීන් ඉන්දියාවට ඇරියුම් කරන්නේ එවැනි පසුබිමකදීය. ඉන්දියාව යනු ශ්‍රී ලංකාවට බෙහෙවින් සමීප රටක් බැවින් මේ ව්‍යාපෘතියට හවුල් වීමෙන් ඉන්දීය ආයෝජකයන්ට විපුල ඵල නෙළා ගත හැකි වනු ඇතැයි එම සමාගමේ වෙළෙඳ හා අලෙවි අධ්‍යක්ෂ යමුනා ජයරත්න මහත්මිය පසුගියදා ප්‍රකාශ කර තිබිණි. කොළඹ වරාය නගරය ලොව ඕනෑම රටක ආයෝජකයන් සාදරයෙන් පිළිගන්නා බවත්, මෙහි ආයෝජන කටයුතු සිදු කරමින් සිය ආයෝජනය වර්ධනය කිරීමට ඉන්දීය ආයෝජකයන්ට ආරාධනා කරන බවත් ඇය සඳහන් කර තිබිණි.
අමෙරිකාවේ උපායමාර්ගික හා අන්තර්ජාතික අධ්‍යයන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු හා අධ්‍යක්ෂවරයකු වන ජොනතන් ඊ. හිල්මන්ගේ විශ්වාසය වී ඇත්තේ ඉදිකිරීම් සමාගම අයත් රටට ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙන රට තුළ අනිසි බලපෑම් සඳහා මෙවැනි ව්‍යාපෘති තුළින් මාර්ගයක් විවෘත විය හැකි බවය. එමගින් අදාළ රටෙහි අනාගත කොන්ත්‍රාත්තු හිමි කර ගැනීම, රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සහයෝගය වැනි අමතර සහන දීම, ස්වාභාවික සම්පත් සඳහා වැඩි ප්‍රවේශයක් ගැනීම වැනි කරුණු ඔහු ඉස්මතු කර පෙන්වා තිබේ. කරුණු එසේ නම් එවැනි තත්ත්වයන් මතු නොවීමට ද ඉතා උපක්‍රමශීලීව කටයුතු කළ යුතුව ඇත.
Comments
Post a Comment