සාමය සොයන ඇෆ්ගනිස්තානය
විසි වසරක ගැටුම් ඉතිහාසයේ සන්ධිස්ථානයකට ඇෆ්ගනිස්තානය එළැඹ සිටී. අමෙරිකා හමුදා තම භූමිය තුළ සිදු වූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය වන 2001 සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ අල්ඛයිඩා ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ එම ඔක්තෝබරයේදීය. ඇෆ්ගනිස්තානයේ ‘කාබුල්’ අගනුවර, කන්දහාර් සහ ජලාල්බාද්හි අල්ඛයිඩා ඉලක්ක වෙත අමෙරිකාවේ නායකත්වයෙන් යුතු සන්ධාන හමුදා පළමු ගුවන් ප්‍රහාර එල්ල කළේ 2001 ඔක්තෝබර් 07 වැනිදාය. ඉන් මසක් ගතවන විට කාබුල් අගනුවර පාලනය තලේබාන් සංවිධානයෙන් ගිලිහිනි. අමෙරිකාව විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් එම කඳුකර ප්‍රදේශවල සැඟවී සිටින බව පවසමිනි. මේ වන විට ඉන් විසි වසරකට පසුව ලබන සැප්තැම්බර් 11 වැනිදා වන විට අමෙරිකා හමුදා මුළුමනින්ම එරටින් ඉවත් කර ගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ. දැනටමත් අමෙරිකා සහ බ්‍රිතාන්‍ය හමුදා භට පිරිස් විශාල වශයෙන් එරටින් ඉවත්කරගෙන අවසන්ය. ගුවන් තොටුපොළ සහ අමෙරිකා තානාපති කාර්යාල පරිශ්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් 1000ක පමණ භට පිරිසක් එහි රඳවා ඇති බව වාර්තා විය.
මෙලෙස භට පිරිස් ඉවත්කර ගැනීමත් සමඟ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාවට එය කොපමණ බලපෑමක් ඇති කරනු දැයි සැක පහළ විය.
බලය
මේ දිනවල එරටින් වාර්තා වන සිදුවීම්වලින් පෙනෙන්නේ එවැනි සැක තැන් නිරවුල් කර ගැනීමට තරම් ඒවා ප්‍රමාණවත් බවය. විදේශීය හමුදා රටින් පිටවෙමින් සිටියදී තලේබාන් සංවිධානය යළිත් ඇතැම් ප්‍රදේශ වටලා තිබුණේ රජය සහ ඔවුන් අතර සාම ප්‍රයත්නයක් ක්‍රියාත්මකව තිබියදීය. මේ තත්ත්වය යටතේ රජයේ හමුදා සහ තලේබාන්වරු අතර සටන් ද ඇති වී තිබේ. එය යළිත් සිවිල් යුද තත්ත්වයක් ඇති කිරීම හේතුවනු ඇති ද යන බිය පළ වී ඇත.
අවසන් අමෙරිකා භට කණ්ඩායම් ඉවත්කර ගැනීම ඇරැඹීමත් සමඟ තලේබාන්වරු කලා-ඉ-නව් දිස්ත්‍රික්කයට ඇතුල් වූහ. එහෙත් දිනක් තුළ එහි බලය යළි තහවුරු කර ගැනීමට ඇෆ්ගන් හමුදා සමත්ව සිටිති. විශේෂ බළකා අණදෙන නිලධාරි සයද් නෙෂාමි කියා සිටියේ, සතුරාට දැඩි හානි සිදු වූ බව සහ තම හමුදා සතුරා පලවා හැරීමට සමත්ව ඇති බවය. ඒ සමඟ නගරයේ පාලනය හමුදාව , යටතට පත්ව තිබේ.
මුළුමනින්ම තලේබාන්වරු නගරයේ බලය පැය කිහිපයක් තුළ තම සංවිධානයේ 100 දෙනකු පමණ ඇතුළුව සිරකරුවන් 400ක් පමණ නගරයේ බන්ධනාගාරයෙන් නිදහස් කරගැනීමට තලේබානුන්ට හැකිව තිබේ. ඒ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සලසමින් සිටි ඇෆ්ගන් භට පිරිස් සටනකින් තොරවම ඔවුන්ට යටත් වූ බව ද වාර්තා විය. බුද්ධි අංශ මූලස්ථානය ගිනිගෙන දැවෙමින් තිබූ බව පළාත් ආණ්ඩුකාර හිෂාමුදීන් ෂම්ස් පවසා තිබිණි. මෑත සති කිහිපයක් තිස්සේ ඇෆ්ගනිස්තානයේ දිස්ත්‍රික්ක ගණනාවක් අත් කරගැනීමට තලේබාන්වරුන්ට හැකිව ඇතැයි වාර්තා විය. ඒ, රටෙන් 1/3 ක් වැනි කොටසකි. කෙසේ වුවද පළාත් අගනුවර සියල්ලේ පාලනය තවදුරටත් පැවැතියේ රජයේ පාලනය යටතේය.
අමෙරිකාව, නේටෝ හවුල්කරුවන් සහ තලේබාන් සංවිධානය අතර ඇතිකරගත් එකඟතාවකට අනුව සියලු විදෙස් හමුදා භට පිරිස් එරටින් ඉවත් කරගත යුතු අතර පෙරළා තලේබාන්වරුන් විසින් ද තම බලප්‍රදේශවල අන්තවාදීන්ට ඉඩ නොතැබීමට වගබලාගත යුතුය. ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ගානි ප්‍රකාශ කළ පරිදි , කැරළිකාරීන් පාලනය කිරීමට රජයේ ආරක්ෂක අංශ සමත්ය. තලේබාන් ප්‍රකාශක සුහයිල්ෂහේන් බී.බී.සි යට පවසා ඇත්තේ මෑත සති කිහිපයක් තිස්සේ උත්සන්නව ඇති ගැටුම්වලට වගකිවයුතු වන්නේ එම සංවිධානය නොවේ.
අමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කර දශකයක් ගතවන විට අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමීමට අමෙරිකා හමුදා සමත් විය. එය සිදු වූයේ ඇෆ්ගනිස්තානයේදී නොව පාකිස්තානයේදී 2011 මැයි 2 වැනිදාය. ඊට වසර 2 කට පසු තලේබාන් සංවිධානයේ නිර්මාතෘවරයා වන මුල්ලා ඔමාර්ගේ මරණය සිදු වූයේ ඔහුගේ රෝගී තත්ත්වය මතය. ඔහු පාකිස්තානයේ කරච්චි හි රෝහලක ප්‍රතිකාර ලබා සිටියදී මිය ගිය නමුත්, තම රට තුළ ඔහු සිට ඇත යන මතය පාකිස්තානය ප්‍රතික්ෂේප කර සිටියේය. කෙසේ වුවද මුල්ලා ඔමාර්ගේ මරණය දෙවසරකට වැඩි කලක් රහසක්ව පැවැතිණි.
අමෙරිකා ආක්‍රමණයෙන් මසක් ගතවන විට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය බිඳවැටෙද්දී තලේබාන් විරෝධ උත්තර සන්ධානය කාබුල් නුවරට ඇතුල් විය. ඒ සමඟ සෙසු නගරවල ද තලේබාන් පාලනය අවසන් විය.
ව්‍යවස්ථාව සම්මත කිරීම
2004 ජනවාරියේදී ලෝයාජිර්ගා හෙවත් මහා සමුළුවේදී නව ව්‍යවස්ථාවක් සම්මත විය. එය ජනාධිපතිවරණයකට මාවත විවර කළ අතර, 2004 අගදී හමීඩ් කර්සායි නව ජනාධිපති වශයෙන් පත් කෙරිණි. ඔහු පස් අවුරුදු ධුර කාල 2ක් බලයේ සිටියේය.
ජනාධිපති ඔබාමා බලයට පත්වීමෙන් පසුව ඇෆ්ගනිස්තානයට අමතර භට පිරිස් යැවීම සිදු විය. ඔහුගේ පාලන සමය තුළ එරට රැඳී සිටි අමෙරිකා භට සංඛ්‍යාව 140,000 දක්වා ඉහළ ගොස් තිබිණි. අල්ඛයිඩා නායකයා අවසන් කිරීමේ ගෞරවය හිමිවන්නේ ද ඔබාමා පාලනයටය.
ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ගානි 2019දී ප්‍රකාශ කළේ, ඇෆ්ගන් හමුදා භටයන් 45000කට වැඩි පිරිසක් 2014දී තමන් බලයට පත්වීමෙන් පසුව මරණයට පත්ව ඇති බවය. එය ඊට පෙර සිතා සිටියාට වඩා වැඩි සංඛ්‍යාවකි. 2001 සිට ඇෆ්ගනිස්තානයේදී මිය ගිය අමෙරිකා භට සංඛ්‍යාව 2300කට වැඩි බව ගණන් බලා ඇත. ක්‍රියාන්විතයේදී තුවාල ලද සංඛ්‍යාව 20,000 ඉක්මවයි.
යුද වියදම
එරටදී මිය ගිය බ්‍රිතාන්‍ය භට සංඛ්‍යාව 450ක් පමණ බව ප්‍රකාශයට පත්වී තිබේ. ඇෆ්ගන් යුද්ධය වෙනුවෙන් අමෙරිකාව විශාල මිලක් ගෙවා තිබේ. අමෙරිකා භට පිරිස් 100,000කට වඩා එරට රැඳී සිටි 2010 – 2012 සමයේ වසරකට අමෙරිකාව දැරූ වැය ඇ.ඩොලර් බිලියන 100ක් පමණ විය. වසර 2018 වන විට එම මුදල ඇ.ඩොලර් බිලියන 45ක් පමණ වේ.
අමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා දක්වන පරිදි, 2001 ඔක්තෝබර් සිට 2019 සැප්තැම්බර් දක්වා ඇෆ්ගනිස්තානයේ යුද වියදම ඇ.ඩො.බිලියන 778 කට ආසන්නය. යටිතල පහසුකම් නැංවීම සඳහා USAID යටතේ දරා ඇති මුදල ඇ.ඩොලර් බිලියන 44ක් පමණ වේ. මේ මුදල්වලින් විශාල ප්‍රමාණයක් අපතේ ගොස් ඇතැයි, ඉකුත් වසරේ ඔක්තෝබරයේදී කොන්ග්‍රසයට ඉදිරිපත් වූ වාර්තාවකින් හෙළිදරව් කෙරිණි. 2009 මැයි සිට 2019 දෙසැම්බර් 31 දක්වා එම හානිය ඇ.ඩොලර් බිලියන 19ක් පමණ වේ.
ඇෆ්ගන් යුද්ධයෙන් අහිමි වූ සිවිල් ජීවිත සංඛ්‍යාව ලක්ෂ සංඛ්‍යාත විය හැකි බව පැවසේ. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව මිය ගිය හෝ තුවාල ලැබූ සිවිල් වැසියන් ගණන 111000ක් පමණ වේ. අමෙරිකා ආක්‍රමණයෙන් පසුව එරට තලේබාන් පාලනය අවසන් කෙරුණ ද නිර්මාණය වූ තත්ත්වය කනගාටුදායකය. නිරන්තරයෙන් බෝම්බ පිපිරීම් වැනි සිද්ධීන් වාර්තා වූ අතර, දිනපතා මිනිස් ජීවිත අහිමි විය.
එකඟතාවයට පත්වීම
රට යුද බියෙන් ඇලළී තිබියදී තලේබාන් සංවිධානය රටේ 1/3 ක පමණ කොටසක බලවත්ය. ඔවුන්ගේ අණසක පවත්නා දිස්ත්‍රික්ක සංඛ්‍යාව 100ක් පමණ වන බව වාර්තා වී ඇත. ඔවුන් පවසන පරිදි නම් එය දිස්ත්‍රික්ක 200ක් පමණ වේ. එනම් රටෙන් අඩකි.
මේ වන විට, අමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර ඇති වී තිබෙන එකඟතාව යටතේ, ඉකුත් සතිය වන විට අමෙරිකා භට පිරිස් එරට ප්‍රධාන මර්මස්ථානයක් බඳු බග්‍රමි ගුවන් කඳවුර හැර ගියේය. තලේබාන් සංවිධානය මීට දින කිහිපයකට පෙර කියා සිටියේ, ඇෆ්ගන් සාම සැලැස්ම ලබන මාසය වන විට ලිඛිතව ඉදිරිපත් කරන බවය. තලේබාන් ප්‍රකාශක ෂබියුල්ලාහ් මුජහිද් ඒ බව කියා සිටියේ රොයිටර් පුවත් සේවය සමඟය. ඇෆ්ගනිස්තානයට සාමය උදාකිරීම වෙනුවෙන් අමෙරිකාව හා තලේබාන් සංවිධානය අතර එකඟතාවකට අත්සන් තැබීම සිදු වූයේ 2020 පෙබරවාරියේදී දෝහා කටාර්හිදීය. එමඟින් අමෙරිකා සහ නේටෝ භට පිරිස් මාස 14ක් තුළ එරටින් ඉවත් කර ගැනීමට එකඟතාව පළ කෙරිණි.
ඇෆ්ගනිස්තානයේ සාම සබඳතා සඳහා වන අමාත්‍යාංශයේ ප්‍රකාශක නජියා අන්වාරි පවසන පරිදි, තලේබාන් සංවිධානය මසක් තුළ ලිඛිත සාම සැලැස්මක් ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කිරීම ප්‍රායෝගික නැත. එසේ වුවද සුබවාදීව ඒ දෙස බලා සිටින බව ඔහු පවසයි. මෙසේ බලන කල තලේබාන් සංවිධානය මේ වන විට සාම සැලැස්ම පිළියෙල කරමින් සිටිය යුතුය. ඒ අතර වාරයේ දැනටත් දෙපාර්ශ්වය අතර ගැටුම් පැවතීම මෙම එකඟතා පිළිබඳ ඇති අපේක්ෂා ඉදිරිපිට ප්‍රශ්නාර්ථ යෙදීමෙහි සමත්ය. පසුගිය දින කිහිපය තුළ දිස්ත්‍රික්ක කිහිපයකම බලය තලේබාන් සංවිධානය අතට පත්ව ඇති අතර, ඉන් දිස්ත්‍රික්ක 8ක් පමණ කිසිදු ගැටුමකින් තොරවම තලේබාන් පාලනයට නතුව ඇතැයි වාර්තා විය. එවැනි පසුබිමක තලේබාන් සංවිධානය සිය සාම සැලැස්ම ඉදිරිපත් කරනු ඇත්තේ යම් ශක්තිමත් පදනමක පිහිටමිනි. මෙම සාම වැඩපිළිවෙළ යථාර්ථයක් වීමට නම් එය ඇෆ්ගන් රජය විසින් බාරගත යුතුය. ඒ පිළිබඳ මත ප්‍රකාශ කිරීමට තවමත් වේලාසන වැඩිය. තලේබාන් ග්‍රහණයට නතුව ඇති දිස්ත්‍රික්කවල පාලනය යළි අත්කර ගැනීම වෙනුවෙන් ඇෆ්ගන් හමුදා ප්‍රති-ප්‍රහාර එල්ල කරනු ඇතැයි වාර්තා වී ඇත. ඇෆ්ගනිස්තානයේ සමස්ත දිස්ත්‍රික්ක හා දිස්ත්‍රික් මධ්‍යස්ථාන සංඛ්‍යාව 421කි.
9/11 ප්‍රහාරයට 20 වසරක් සම්පූර්ණ වන විට අමෙරිකාව ඇෆ්ගන් යුද්ධයේ නිමාව අපේක්ෂා කරන බව ජනාධිපති බයිඩන් ගෙන ඇති තීරණයෙන් පළ වේ. එසේ වුවද අමෙරිකා සහ සන්ධාන හමුදාවල භට පිරිස් නික්ම යන්නේ ඇෆ්ගනිස්තානය යුද බියෙන් තොර හා සිවිල් පරිපාලන සහතික කළ ස්ථාවර රාජ්‍යන් බවට පත්කර අවසන් ද යන පැනය මේ වන විට මතු වී තිබේ. කවර රටකින් වුවද එහි රැඳී සිටින විදේශීය හමුදා නික්මයාම සාධනීය තත්ත්වයකි. එයින් පසුව එළැඹෙන අවදිය තුළ රටේ ආරක්ෂාව හා ජන ජීවිතවල ආරක්ෂාව සහතික කිරීමට රාජ්‍යයේ හමුදාව සමත් වීම ද විය යුතුව තිබේ.
Comments
Post a Comment