සංචාරක ව්‍යාපාරයට නව ජවයක් දෙමු
හැත්තෑ හතේ ජේ.ආර්.ගේ විවෘත ආර්ථිකයට බොහෝ දෙනා දොස් නගති. දේශීයත්වයට වටිනාකමක් දෙමින් තිබූ රට පස්සට ගියා කියලයි ඔවුන් කියන්නේ. හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියන එක ඒකෙන් වෙනස් වුණා. විවෘත ආර්ථිකය නැමැති කළු වලාව මතින් ඇඳුනු රිදී රේඛා ගොඩකි. සංචාරක ව්‍යාපාරය ඒ මත ඇඳුණු තවත් වටිනා කියන රිදී රේඛාවකි.
සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රමුඛ ක්ෂේත්‍රයකි එය අවසන් වරට ඉහළම තත්ත්වයක පැවතුණේ 2018 වසරේය. එම වසරේ ලක්ෂ විසි අටක සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණියා. ඒ මෑත කාලයේ වසරක් තුළ රටට පැමිණි ඉහළම සංචාරකයන් ප්‍රමාණයි. ඒ අනුව 2025 වන විට මෙරට සංචාරක ඉලක්කය පැමිණීම මිලියන හතකි. ඒත් 2019 පාස්කු ප්‍රහාරයත්. 2020 න් පසු ඇති වූ ගෝලීය කොවිඩ් වසංගතයත් නිසා මෙරට සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම කඩා වැටුණා.
අද වන විට ලෝක සංචාරක කර්මාන්තය සියයට හැත්තෑ පහකින් කඩා වැටී ඇත. ඉන් මිලියන හැටක් දෙකකට පමණ සෘජු හා වක්‍ර රැකියා අහිමි වී තිබේ.ලෝක ආර්ථිකයේ ප්‍රධාන කර්මාන්තයක් වන සංචාරක ව්‍යාපාරය මේ වන විට යළි නගාසිටුවීම කෙරෙහි ලොව බොහෝ රටවල අවධානය යොමුව පවතී.
අද අප මුහුණ දෙමින් සිටින්නේ කොවිඩ් ව්‍යසනයේ තෙවන රැල්ලටය. පාස්කු ප්‍රහාරය නිසා එක් පැත්තකින් සංචාරක ව්‍යාපාරය කඩා වැටිණි. එය ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබියදී ගෝලීය කොවිඩ් වසංගතය රටේ ආර්ථිකයට කනේ පහරක් සේ වැදිණි. මෙය එක් පැත්තකින් සංචාරක ක්ෂේත්‍රයට ඉහළම ලෙස බලපාන්නට විය. රටක් රාජ්‍යයක් යනු ගමක සුබ සාධක සමිතිය නොවේ. කුමන අභියෝග හමුවේ වුවද රටක් නැගිටිය යුතුයි. දශක තුනක ත්‍රස්තවාදයේ අමිහිරි අත්දැකීම් රට ආපස්සට ගියා. ත්‍රස්තවාදය පැවතුණද රටක් ලෙස ගොඩනැගීමට අවශ්‍ය සංවර්ධන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වීම නිසාවෙන් යුද්ධයෙන් පසු රට යම් සාධනීය මගකට එනු දක්නට ලැබිණි.
අදද රටක් ලෙස අපට කොවිඩ් මත්තේම මැරෙන්න බැහැ. එදා යුද්ධය තියෙද්දී යුද්ධය මත්තේම මැරෙන්න ගියේ නම් අපට රටකුත් රටට හෙටකුත් අද නැහැ.
රට මේ වන විට බොහෝ සෙයින් විවර වී අවසන්. සැප්තැම්බර් අවසන් වන විට ජනගහනයෙන් මිලියන දහතුනක් එන්නත්කරණය කිරීම රජයේ ඉලක්කය වී තිබේ.
එයට සමගාමීව රටෙහි ආර්ථිකය ගොඩනැංවීම ප්‍රමුඛ අවශ්‍යතාවයකි.ඒ සඳහා සංචාරක ව්‍යාපාරය මූලික විය යුතුව ඇත.
මාලදිවයින සංචාරක ව්‍යාපාරය සඳහා අද මුළුමනින්ම විවර වෙලා. පවතින ගෝලීය ව්‍යසනය හමුවේ සංචාරකයන් සඳහා පහසුවෙන් රට තුළට ඇතුළු විය හැකි ක්‍රමවේද ඔවුන් හඳුන්වා දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායකයන් බැහැර නොකරමින් ඔවුන් මේ ක්‍රමවේද රටට හඳුන්වා දී තිබේ.
මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ලක්ෂ පහක පමණ පිරිසක් සෘජු රැකියාවල නිරතව සිටී. තවත් ලක්ෂ විස්සක පමණ පිරිසක් වක්‍ර රැකියාවන්හි නියැළෙති. එක් පැත්තකින් මේ වන විට ඔවුන් නැත්තටම නැති වී හමාරය. තවත් පැත්තකින් ඔවුන්ගෙන් පණ පෙවෙන ආර්ථිකය පහළටම ඇද වැටී හමාරය.අපට තවත් බලා සිටිය හැකි කාලයක් නොමැත. මේ එළඹ ඇත්තේ නැගී සිටිය යුතුම කාලයයි. එක් පැත්තකින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුය. තවත් පැත්තකින් රට ලෝකයට විවර වෙන්න ඕනෑ. ඒ සඳහා කොන්දේසි විරහිතව සංචාරක ක්ෂේත්‍රය ගොඩනැන්විය යුතුව ඇත.
එක් පැත්තකින් ඇමරිකානු ඩොලර් බිලියන දහයක් ජාතික ආර්ථිකයට එක් කිරීම සංචාරක ව්‍යාපාරයේ ඉලක්කය බව විෂයභාර අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ මොහොතේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට මෙය සාධනීය ඉලක්කයකි.
මෙරට සංචාරක කලාප දහසයකි. ඉන් වෙරළබඩ තීරය හා සංස්කෘතික වටිනාකම් සහිත ප්‍රදේශ සංචාරකයනගේ වඩාත් ආකර්ෂණීය ස්ථානයන්ය.
අද වන විට විවිධ ප්‍රභේද පිළිබඳව රට තුළ තුළ කතාබහක් ඇතිව තිබේ. සංචාරකයන් මගින් මෙම ප්‍රභේද රට තුළට ඇතුළු වී ඇතැයි ඉන් කියැවේ. එවැනි තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අංශ එක් පැත්තකින් අවධානය යොමු යොමු කළ යුතුය. උපරිම ආරක්ෂක ක්‍රමවේද යටතේ සංචාරකයින් රටට ඇතුළු කරගත යුතුය. අගෝස්තු - සැප්තැම්බර් වන විට සංචාරක ක්ෂේත්‍රය යම් එසවීමකට ගත යුතුව ඇත.
ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නිසා කාලයක් රට සංචාරකයන්ට තහනම් වුණා. සහරාන්ලාගේ පාස්කු ප්‍රහාරයෙන් තවත් කාලයක් ඔවුන්ට අපේ රට එපා කෙරෙව්වා. අද එදා වගේ ප්‍රභාකරන්ගේ කාලයක් හෝ
සහරාන්ගේ වකවානුවක් නොවේ. මේක ගෝලීය තත්ත්වයක්.එදා ලංකාව සංචාරකයන්ට එපා වුණා. අද එහෙම තත්ත්වයක් නැහැ. ලෝක තත්ත්වය හැම රටක්ම හොඳින්ම දන්නවා. ඒ නිසා රට තුළ අප ගන්න තීන්දු තීරණ අනෙක් රටවල සංචාරකයන්ට ශ්‍රී ලංකාවට එන්න බලපානවා.
මේ වෙලාවේ සංචාරක ක්ෂේත්‍රයේ නියැෙළන්නන්ට රජය උපරිම සහන දිය යුතුව. ඔවුන් ඒ සඳහා දිරිගැන්විය යුතුව තිබේ. බැංකු සහ මූල්‍ය ආයතන වඩාත් නම්‍යශීලී විය යුතුය.
2025 වන විට මිලියන හතක සංචාරක ඉලක්කයක් පවතින රටක මේ වසරේ මේ වන විට මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 17,000 කි. එනිසා පවතින ඉලක්කය පහසු නැත. එහෙත් මේ ඉලක්කය ජය ගත යුතුව තිබේ.
නව මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා දිවුරුම් දුන්නේය. ඔහුගේ දිවුරුම් දීමත් සමඟ රටෙහි ආර්ථික ක්ෂේත්‍රයන්හි යම් ධනාත්මක අදහස් ඉදිරිපත්ව තිබේ. ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තුළ සංචාරක ව්‍යාපාරය ප්‍රමුඛ කර ගැනීම නව මුදල් අමාත්‍යවරයාගේ ඉලක්කයක් බව කියවේ. ඇමති ප්‍රසන්න බැසිල්ගේ සමීපතමයකි. මේ නිසා සංචාරක ක්ෂේත්‍රය ගොඩ නැංවීම විෂයභාර ඇමතිවරයාට එදාටත් වඩා දැන් හොඳින්ම කළ හැකිය.
එහෙම වුණොත් 2025 ජාතික ආර්ථිකයට ඩොලර් බිලියන දහයක් එක් කිරීමේ ඉලක්කය අසීරු නොවේ.
නැත්නම් ලෝකෙන්ම කොවිඩ් උවදුර අවසන් වන තුරු බලා සිටින අපි කොවිඩ් මැද අනෙක් රටවල් ජය ගනිද්දී හූල්ල හූල්ලා ඉඳිමු.
Comments
Post a Comment