කුලුඳුල් ලෝක ටෙස්ට් ශූරතාව නවසීලන්තයට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධාන කළ අයිසීසී ලෝක ටෙස්ට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නවසීලන්තය සමත් වෙයි.
තවමත් එක්දින හෝ විස්සයි20 ලෝක කුසලානයක් දිනා නැති නවසීලන්තය හිමි කර ගත් පළමු අයිසීසී ලෝක ශූරතාව මෙයයි.
එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 8ක ජයක් සමඟින් නවසීලන්තය ශූරයන් වෙද්දී ඉන්දියාවට අනුශූරතාවෙන් සෑහීමට සිදු විය.
නවසීලන්තයට අයිසීසී ටෙස්ට් ශූරතා සෙංකෝලය සමඟින් අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 32) පිරිනැමුණු අතර, ඉන්දියාවට ඩොලර් 800,000ක් (රුපියල් කෝටි 16ක්) හිමි විය.
මේ තරගයේ සිව්වැනි ඉනිමේ ජයග්‍රහණය සඳහා නවසීලන්තය ලකුණු 139ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය කඩුලු 2ක් දැවී තිබියදී සපුරා ගැනීමට ඔවුන්ට හැකි විණි. නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 52ක් සහ රොස් ටේලර් නොදැවී ලකුණු 47ක් රැස් කරමින් නවසීලන්ත ජය තහවුරු කළහ.
දිගින් දිගටම වාර්ෂාවෙන් බාධා වීම නිසා තරගය දින 6ක් දක්වා පැවැත්විණි. මේ තරගයට අදාළ හඳුන්වා දුන් නීතිරීති අනුව දින 5 නිමා වන විට නියමිත කාලය තුළ තරගය පවත්වා නොතිබුණහොත් හෝ කණ්ඩායමක් ජය වාර්තා කර නොතිබුණොත් අතිරේක දිනයක් තරගය සඳහා ලබාදී තිබිණි. ඒ අනුව තරගයට වර්ෂාවෙන් වූ බාධා හේතුවෙන් මෙලෙස දින 6ක ක්‍රීඩා කිරීමට සිදු විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය පිලට හිමි කර දුන්නේය.
එහෙත් එම අවස්ථාවෙන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට අසමත් වූ ඉන්දියාවට පළමු ඉනිමේදී රැස් කළ හැකි වූයේ ලකුණු 217ක් පමණි. ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිමට ලකුණු 249ක් රැස් කිරීමට නවසීලන්තය සමත් වූ අතර, ලකුණු 32ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දීය පිලට සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 170ක් පමණි. ඒ සමඟ නවසීලන්තයට ලකුණු 139ක ඉලක්කය හිමි විය.
මේ තරගයෙන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ නවසීලන්තයේ සාර්ථකම කඩුලු රකින්නා වන බි.ජේ. වොට්ලිංට ජයග්‍රාහී සමුදීමකට නවසීලන්ත පිල සමත් වූ අතර, ඔහුට මේ තරගයේදී රැස් කළ හැකි වූයේ එක් ලකුණක් පමණි.
මේ ශූරතාවලියට රටවල් 9ක් එක් වූ අතර, අවසන් මහා තරගය ආරම්භයට පෙර ශ්‍රී ලංකා පිල පසු වූයේ ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේයි. එහෙත් මේ තරගයට අමතරව ශූරතාවලිය යටතේ දකුණු අප්‍රිකා - බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ද පැවැති අතර, එම තරගාවලිය ජය ගැනීමත් සමඟ 5 වැනි ස්ථානය දක්වා ඉහළට යෑමට දකුණු අප්‍රිකාවට හැකි විය. ඒ සමඟ පාකිස්තානය 6 වැනි තැන දක්වා පහත වැටිණි.
මේ තරගාවලියේදී හිමි වූ දඬුවමක් හේතුවෙන් කොදෙව් පිලට ලකුණු 6ක් අඩුවීම නිසා ඔවුන් 8 වැනි ස්ථානය දක්වා පහත වැටිණි. ඒ සමඟ ශ්‍රී ලංකා පිල 7 වැනි ස්ථානයෙන් පළමු අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලිය නිමා කළේය.

Comments
Post a Comment