වසංගත-සමයක-ගෝලීය-ආර්ථිකයේ-හැසිරීම

2020 පළමු කාර්තුව චීනය වසංගතයෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව තිබූ අවදියයි. රට පුරා ලොක්ඩවුන් තත්ත්වයක් ක්‍රියාත්මක විය. එම කාර්තුවේ එරට ආර්ථිකය 6.8%කින් හැකිළීමක් පෙන්නුම් කළේය. මේ වන විට එය 6% වර්ධනයක් ලෙස සටහන් කිරීමට චීනයට හැකි වී තිබේ. කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑම නිශ්චිතවම ගණනය කිරීම තවමත් කළ නොහැකි වී තිබේ. එසේ වුව ද, ලොව සෑම රටක් සම්බන්ධයෙන්ම එය සෘණාත්මක බලපෑමක්ය යන කාරණය සම්බන්ධයෙන් විවාදයක් නැත. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි වසංගතය විසින් ලෝක දළ දේශීය නිෂ්පාදනයේ (GDP) වර්ධනයට ඇති කළ බලපෑම දැවැන්තය. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ගෝලීය ආර්ථිකයට ඇති වූ විශාලම පසුබෑම වශයෙන් වසංගතය මඟින් ඇති කළ බලපෑම සටහන් වේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) 2021 අප්‍රේල් නිකුත් කළ වාර්තාව (World Economic Outlook) සඳහන් කරන පරිදි, 2019 ඔක්තෝබරයේදී පුරෝකතනය කළ 3.4%ක වර්ධනය වෙනුවට 2020දී 7% සංකෝචනයක් සිදු වී ලොව සෑම රටකම ආර්ථික වර්ධනය සෘණ අගයක් ගන්නා බවය. දිළිඳු රටවල තත්ත්වය වඩාත් අයහපත්ය. මේ වසර අග වන විට ලෝක ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් වනු ඇතැයි මත පළ වුව ද, දැනට පවතින දත්ත මඟින් පෙනී යන්නේ තවමත් එය වසංගතයට පෙර පැවති මට්ටමට වඩා පහළින් ඇති බවය. IMF (2021) ගණන් බැලීම්වලට අනුව වසර 2024 දී අඩු ආදායම්ලාභී රටවල දළ දේශීය නිෂ්පාදනය (GDP) 3%ක් වනු ඇත. එම ගණනය කිරීම් කර ඇත්තේ ඒ වන විට වසංගතය නොපවතිනු ඇත යන උපකල්පනය මත පදනම් වෙමිනි. වෙනත් ගණනය කිරීම්වලට අනුව අප්‍රිකානු රටවල ද.දේ.නි අගය කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටමට වඩා 1% - 4% අතර අඩු මට්ටමක තිබෙනු ඇත. වසංගතයේ බලපෑම් අවම කරගැනීම වෙනුවෙන් ලෝක මට්ටමින් 2020 වසරේදී දී ඇති මූල්‍ය සහායවල වටිනාකම අමෙරිකන්.ඩොලර් ට්‍රිලියන 16කට ආසන්න වේ. එය ගෝලීය ද.දේ.නි. න් 15%ක පංගුවකි. කෙසේ වුව ද ඒ ඒ රටවලට එවැනි සහායක් දිය හැකි වන්නේ එක් එක් මට්ටම් වලිනි. අමෙරිකාව, දකුණු කොරියාව, ජපානය සහ ජර්මනිය යන රටවල ආර්ථිකය මේ වසර අග වන විට සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි ලෝක ආර්ථික සංසදය (World Economic Forum) අපේක්ෂා කරයි. එසේ වුව ද, දකුණු අප්‍රිකාව, ආජන්ටිනාව වැනි රටවලට ඒ වෙනුවෙන් 2025 වසර දක්වාත් බලා සිටීමට සිදු වනු ඇත. මූල්‍ය විශේෂඥයන් ද පෙන්වා දෙන පරිදි Covax පහසුකම යටතේ රටවල එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගත හැකිවන තරමට ආර්ථිකය යළි යහපත් අතට ගෙන ඒමට ඇති හැකියාව ද වැඩි වේ. ලෝක ආර්ථිකය ඉකුත් වසරේදී එක්සත් රාජධානියේ ආර්ථිකය වසර 300කට පසුව විශාලම පසුබෑම වාර්තා කළේය. එය විරැකියාව විශාල ලෙස ඉහළ යෑමට බලපෑවේය. මේ තත්ත්වය 2009 ගෝලීය මූල්‍ය ආර්බුදය අවස්ථාවේ ඇති වූ බලපෑමට වඩා 10 ගුණයකින් වැඩිය. 2020 ලොව පුරා රැකියා අහිමි වූවන් සංඛ්‍යාව වාර්තා වන්නේ මිලියන 114ක් වශයෙනි. මේ වසර අග වන විට ඇතැම් රටවල ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කළද, ස්පාඤ්ඤය, අයිස්ලන්තය වැනි රටවල් ද තවමත් සිටිනු ඇත්තේ විශාල පසුබෑමකට ලක්වය. සංචාරක කර්මාන්තයේ ඇති වූ පසුබෑම ඊට විශාල වශයෙන් බලපාන බව පැහැදිලි වේ. 2020 වසරේදී ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තයෙන් ඉපැයීමට අපේක්ෂා කළ ආදායම අ.ඩො. බිලියන 400ට ආසන්න වේ. ආසියාකරයේ එය අ.ඩො. බිලියන 150ක් පමණය. එසේ වුව ද, වසංගතය හේතුවෙන් ගුවන් ගමන් හා සංචරණයට ඇති වූ බලපෑම් සැලකිල්ලට ගන්නා විට ගෝලීය වශයෙන් ව්‍යාපාරික මට්ටමේ සංචාරවලින් ලැබූ ආදායම ගණනය කළ හැකි වන්නේ පාඩුවක් වශයෙනි. එය අ.ඩො. බිලියන 810ක් පමණ වේ. කොවිඩ් 19 ලොවපුරා කොටස් වෙළෙඳපොළ බරපතළ කඩාවැටීම් සටහන් කළේය. The Dow Jones සිය ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම පසුබෑම පෙන්වූයේ ඒකක 3000ක් වශයෙනි. දිනය 2020 මාර්තු 16 වැනිදාය. ඊට දින 4කට පෙර එම අගය ඒකක 2300ක්ව තිබිණි. පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව අවම වීමත් සමඟ භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම ද පහළ වැටිණි. මේ තත්ත්වය ලෝක ආර්ථිකයට තියුණු අන්දමින් බලපෑවේය. සංචාරක හා ගුවන් සේවා කර්මාන්තවලට ඇති වූ බලපෑම ඉතා විශාලය. රටවල් අතර සංචරණය මුළුමනින්ම සීමා වූ විට ගුවන් ‍ෙතාටුපොළ මෙහෙයුම් කටයුතු ද අතිශයින්ම සීමා කෙරිණි. මෙම ක්ෂේත්‍රවල සේවකයන්ගේ රැකියා සම්බන්ධයෙන් ද මේ තත්ත්වය තීරණාත්මක ලෙස බලපෑවේය සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ රටවල ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබියදී ඉන් සෘජුව හා වක්‍රව ජීවනෝපාය සලසා ගත් පිරිසට දැඩි පීඩනයක් ඇති විය. මෙවැනි පසුබිමක බොහෝ රටවලට සිය රටවැසියන් වෙනුවෙන් මූල්‍යමය සුභසාධක පැකේජ් හඳුන්වාදීමට ද සිදු විය. ආර්ථිකමය පසුබෑමකට ලක්ව තිබියදී එය අභියෝගාත්මක තත්ත්වයකි. පසුබෑම මැද වැඩුණු ක්ෂේත්‍ර වසංගතය හේතුවෙන් ආර්ථිකයේ බොහෝ ක්ෂේත්‍ර කඩාවැටීමට හා පසුබෑමට ලක්ව තිබියදී සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වන නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍රවල වර්ධනයක් ඇති වී තිබේ. දෑත් සේදීම, විෂබීජහරණය, මුව ආවරණ, නිෙවසේ සිට රාජකාරි කටයුතුවල යෙදීම, අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීම, විදුලි සන්දේශ සේවා ආදිය ඔස්සේ එය පිළිබිඹු වේ. දෛනික අවශ්‍යතා සපයා ගැනීමේදී ජනතාවට භාණ්ඩ හිඟයන්ට මුහුණ දීමට මෙන්ම මිල වැඩි වීම් දරාගැනීමට ද සිදුව තිබේ. නිෂ්පාදනයේ සීමාකම් හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට නොහැකි වීම ද දැකිය හැකිය. පසුගිය කාලයේ පොසිල ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩුවීමක් දක්නට ලැබුණ ද නැවතත් ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයකට ගෙවිය යුතු මුදල ඉහළ ගොස් තිබේ. කොවිඩ් 19 වසංගතය මඟින් දරිද්‍රතාවට අදාළව ඇති කළ සම්පූර්ණ බලපෑම් දිස් වනු ඇත්තේ වසර කිහිපයක් ගත වන විටය. දැනට එය පෙන්නුම් කෙරෙමින් ඇත්තේ ගෘහ ඒකකවල දෛනික ජීවිතය පවත්වා ගැනීමේදී මුහුණ දීමට සිදු වන බලපෑම් වශයෙනි. වසංගතය හේතුවෙන් වැඩිම පීඩනයට ලක්ව ඇති ප්‍රජාවට සහන සැලසීම වෙනුවෙන් ලොව රටවල් නොයෙක් මට්ටමින් ප්‍රතිචාර දක්වමින් සිටී. සෞඛ්‍ය පහසුකම් සීමිත වන රටවලට වසංගතය සමඟ සටන් කිරීම වඩා අභියෝගාත්මක වී තිබේ. ගෝලීය ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වසංගතය පාලනය කිරීම පිණිස රටවල් අනුගමනය කරන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ද එන්නත්කරණ වැඩසටහන ද තීරණාත්මක සාධක වේ. සෑම රටකටම එන්නත් ලබා ගැනීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද බලවත් පරිශ්‍රමයක යෙදී සිටියදී, ඇතැම් දිළිඳු රටවලට තවමත් එන්නත් ලබා ගැනීම අභියෝගාත්මක වී තිබේ. සාධාරණ ලෙස එම අවස්ථා සපුරාලීමට හැකි වී ඇති බවත් පෙනෙන්නට නැත. එන්නත්කරණ වැඩසටහන් ජීවිත ආරක්ෂා කිරීම සඳහා මෙන්ම ආර්ථිකය නඟා සිටුවීම සඳහා ද අත්‍යවශ්‍ය වී තිබේ. More Jabs, More jobs යනුවෙන් ප්‍රකාශ වන්නේ ද මේ තත්ත්වයයි. සෑම අයකුම වයිරසයෙන් ආරක්ෂා වනතුරු කිසිවකුත් ආරක්ෂා නොවනු ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ සෞඛ්‍ය පහසුකම් හා එන්නත්කරණ වැඩපිළිවෙළ සාධාරණ ලෙස සෑම රටකටම සහ සෑම සමාජ කොටසකටම ගලා යා යුතු බව අවධාරණය කිරීම වෙනුවෙනි. වසංගතය විසින් ගෝලීය ආර්ථිකයට එල්ල කළ බලපෑම දැනට පවතින අන්තර්ජාතික වෙළෙඳ ක්‍රමය තුළ ඇති අස්ථාවර ස්වභාවය පිළිබිඹු කරන බව ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පවතින ක්‍රමය යටතේ ලෝකයේ රටවල් එකිනෙකා මත විශාල වශයෙන් පරායත්ත වේ. එම අන්තර්පරයත්තතාව ද මෙම අර්බුදය තුළ අවධානයට ලක් විය යුතු තත්ත්වයකි. අන්තර්ජාතික වෙළෙඳාමට අදාළව එතරම් විශාල පරායත්තතාවක් පැවතිය ද වසංගතය පාලනය කිරීමේදී එන්නත්කරණය, සෞඛ්‍ය පහසුකම් ආදි කාරණා සම්බන්ධයෙන් ධනවත් හා දිළිඳු රටවල් අතර ඇති සහයෝගිතාවය පිළිබඳ ඇත්තේ සාංකාමය තත්ත්වයකි. චීනයෙන් උගත හැකි පාඩම් වසංගතය පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම ආර්ථිකමය පසුබෑම මතින් වේගයෙන් යළි නැඟී සිටීමේදී ද සෙසු ලෝකයට චීනයෙන් උගත හැකි පාඩම් වැදගත් වනු ඇත. 2021 පළමු කාර්තුවේදී, එරට ආර්ථිකයේ වර්ධනය සටහන්වූයේ, 18.3%ක් වශයෙනි. දළ දේශීය නිෂ්පාදනය පිළිබඳ චීනය කාර්තුමය වශයෙන් දත්ත සටහන් කිරීම ඇරැඹුවේ 1992දී ය. එවක් පටන් මේ දක්වා එම විශාලම පිම්ම ගැනීමට චීනයට හැකි වී ඇත්තේ මෙම කාර්තුවේදීය. 2020 පළමු කාර්තුව චීනය වසංගතයෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව තිබූ අවදියයි. රට පුරා ලොක්ඩවුන් තත්ත්වයක් ක්‍රියාත්මක විය. එම කාර්තුවේ එරට ආර්ථිකය 6.8%කින් හැකිළීමක් පෙන්නුම් කළේය. මේ වන විට එය 6% වර්ධනයක් ලෙස සටහන් කිරීමට චීනයට හැකි වී තිබේ. කෙසේ වුව ද වසංගතය සෙසු ලෝකයට තවමත් එල්ල කරමින් ඇති බලපෑම පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බව චීනයේ අදහසය. සිය ආර්ථික හා සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී කාබන් විමෝචනය, 2030 වසර වන විට නිශ්චිත මට්ටමකට සීමා කර 2060 වසර වන විට එය ශුන්‍ය කරන බවට චීනය ප්‍රතිඥා දී තිබේ. මෑතදී චීන ජනාධිපති ෂී ජිංග් පිංග් කියා සිටියේ, එම 2030 ඉලක්කය 2025 දී සපුරා ගැනීමට හැකි වනු ඇතැයි පෙනී යන බවය. ධම්මික සෙනෙවිරත්න

Comments

Popular posts from this blog

ඇගලුම් කම්හල් වැසීයාමේ අවදානම

ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉතිහාසය සහ කොතලාවල වෛද්‍ය පීඨය: "නිදහස් අධ්‍යාපනයේ මිනී පෙට්ටියේ අවසාන ඇනේ"

ඊශ්‍රායල-පලස්තීන ගැටුම සහ එක්සත් ජනපද මැදිහත් වීම